Translate

Friday, March 27, 2015

2013 August 30 - තවත් හරිම ප්‍රශ්ණයක් ...




තකහනියක් වැඩටික ඉවරකරලා - බෝල ටික සුද්දොන්ගේ පැත්තට පාස් කරලා, මම පහ වෙනකොට කොම්පැනියෙන් කොච්චියට පැනගන්න දෙමටගොඩ ස්ටේසමට බඩ ගෑවේ ඉහින් කනින් කටින් බඩු එල්ලන් සති කීපයකට පස්සේ ගෙදර යන්න කියලා හිතාගෙන. ස්ටේසමට පෝලිමේ ඉන්නකොට වැස්ස පටන්ගත්තා. ඉතිං තෙමි තෙමි තමයි ටිකට් ගන්න ඕනේ. ඇයි මේ ටිකට් ගන්නදොර අනික් පැත්තට දාන්න බැරි. රේල් පාරවල් දෙකක් මැද්දේ අනතුරුමදායක විදියට දිගට මගී ආවරණයකුත් නැතුව තමයි මෙතන රුවිතෙට ටිකට් දෙන්නේ.මේක තමා මට ආපු පළවෙනිම ප්‍රශ්ණයි.
ඉතිං පෝලිම තියෙද්දි ඉස්සරහට දුවන් එන ගෑනු උදවිය පෝලිමේ නැතුව ටිකට් එක පැනලා කලින් ගන්නවා. අපි පොලිමේ බලාගෙන. පෝලිමේ එන්නේ නැත්තේ ඇයි ඇන්ටි. අපි පොලිමේ සෑහෙන වෙලාවක්නේ !!!.
“ආහ් - ඔයාට කොහෙද දැන් කොච්චි. මගේ කොච්චිය දැන් එන්න තියෙන්නේ. ඔයාටත් හදිස්සි වෙලාකට අපෙන් ඉල්ලුවොත් දෙනවානේ. අපේ කොච්චියනේ කලින් එන්නේ. ඕකට ඔච්චර කෑ ගහන්න ඕනෙද?.. “ ඔන්න - කිතුල් ගහට ගිය එකා කිව්වලු - තණකොල කපන්න ගහට නැග්ගේ කියලා. ඇන්ටි කියන්නේ හරිම කතාවක්. මගේ කොච්චිය එන්නේ පරක්කු වෙලාලු. එයාගේ එක එන්නේ මගේ එකට කලින්ලු. ඉතිං කලින්ම ඇන්ටි මම යන ඉසව්ව ගැන ටෙලිපති ක්‍රමයකින් දැනන් - කවදාවක් නොදැකපු ඇන්ටි ලැජ්ජා නැතිව පෝලිමත් පැනලා ටිකටුත් අරන් - පොර ටෝක් එකකුත් දීලා ගියේ. හරිම ප්‍රශ්ණයක්.
ටික වෙලාවකින් 4.45 කෝච්චිය 5.15 ට ආවා. කටපුරවලා සෙනග. රේල්ලුවයි ස්ටේසමයි අතර පඩි නගින්න සාරි ඇදපු, ගවුන් ඇදපු - සංකෘතියට ගැලපෙන්න ජාතික ඇදුම් ඇදපු දේශප්‍රේමි අයට අමාරුයි. විජාතික කලිසම් ඇදගත්තු එවුන් ඉනිමං දිගේ නැගලා - බිමට අඩි 6ක් 7ක් උඩින් කොච්චි තට්ටුවට නගින්නේ පොර කාලා දිවි පරදුවට තියලා. නූතන ලොකේ ලංකාවෙන් පිට කිසිම රේල්ලුවකට මේ වගේ අනතුරු දායක විදියට නගින්න නැහැ platform එකේ ඉදන් - අන්තිම දුප්පත් රටකවත්. මේ අස්සේ ඇන්ටි කෙනෙක් කොච්චියේ පඩි පෙලෙන් රූටලා වැටිලා දඟලනවා. ඇයි දෙයියනේ Standard කොච්චි Platform එක Standard රේල්ලුවේ තට්ටුවෙ මිම්ම මට්ටමට හදන්න ලංකාවේ විතරක් ඉංජිනේරුවන්ට බැරිවුනේ. හරිම ප්‍රශ්ණයක්. ඇයි රේල්ලුවයි - Platform එකයි අතර පරතරය අඩු කරල අනික් රටවල වගේ දුම්රිය නැවතුම්පොළවල් හදන්න බැරි වුනේ? තවත් හරිම ප්‍රශ්ණයක්.
කොච්චියේ ඇතුලේ අංකල් මූණට කහිනවා. රවලා බැලුව බැරිම තැන. මේකාත් රවනවා මෙන්න - හිටු කියලා. කටපුරා අපේ ජාතික ආහාරේ - බුලත් විට. රවුලෙත් උන්දැගේ විට හප. දත්ටික ගරායකාගේ වගේ කලු වෙලා. කට අරිනකොටත් අමුතු පුසුබක් එන්නේ. ඩිපෝවකද කොහෙද වැඩකරන අංකල් කෙනෙක් වගේ. උඩ සාක්කුවේ කන්ණඩිය. හරිම ආඩම්බර මූණ. හුහ් !!! මුන් හරියට වයසට යන්නේ නෑ වගේ. බොලේ අංකල්ගේ නීතියේ හැටියට වයස යන හැමෝගෙම අපිරිසිදු කැහි දුම්රිය මගීන් නාගෙන යන්න ඕනේ. හාහ් ඒක තමයි අංකල් කියන්නේ වැඩිහිටි ගෞරවය කියලා. මෙතන ඉන්නේ වයසට යන්නේ නැති අයනේ. අංකල් හින්ට් එකකුත් ගහනව ... ඇයි ගමනක් යනකොට අඩුම ගානේ ලේන්සු කෑල්ලක් අරං යන්නේ නැත්තේ, අපිට වද දෙන්න - කිබිහුමකට හරි කැස්සකට හරි දුර්ගන්ධ මුඛය ආවරණය කරගන්න. හරිම ප්‍රශ්ණයක්.
කොහොම හරි ඉතිං අංකල්ගේ කැහි පාරවල් මූණ පුරා ඉවසං ඉන්නකොට කෝච්චිය ගම්පහටත් ඇවිත්. කවුද නැගිට්ටා. දෙයියනේ දැන්වත් මලුටික බාලා ඉදගන්න පුලුවන්. මල්ලි මේක අල්ලලා තියෙන්නෙ. අප්පට සිරි කවුද කෙනෙක්ට අල්ලපු සීට් එකක්ලු. කොච්චියේ සින්නර අයිතිකාරයෝ වගේ මේ සෙට් එක. කිචි බිචි විහිලු තහලු - දුම්රිය මැදිරිය පුරාම. මේක අපේ කෙනෙක්ගේ සීට්එකක්. බෑග් එකක් තියලා තියෙන්නේ. පේන්නේ නැද්ද ? ආහ් ඒක තමයි. ඇයි බෑග් එකක් තියලා අපිටත් කලින්ම සීට් එක ලියාගන්න බැරි වුනේ? හරිම ප්‍රශ්ණයක්.
යාන්තම් මීරිගමට ඇවිත් දෙයියනේ කියලා බස් එකේ ගිරිඋල්ලට බඩගා ගත්තා. තාත්තා කන්න කැමති ඥාන කතා සමග පාන්. අම්මට සීරියල්. නංගිට - මොනවද ගන්නේ. ඥාන කතාම ගමුකෝ. ඥානකතා 5 යි පාන් ගෙඩි දෙකයි, සීරියල් පැකැට් එකයි. බරට බරට දුවගෙන ඇවිත් නැග්ගෙ ගිරිඋල්ලෙන් පන්නලට අන්තිම බස් එකටලු. හයෙන් පස්සේ ගිරිඋල්ල පන්නල මැද්දේ බස් යන්නේ නෑනේ මල්ලි. මේ අපි පරක්කුවුනා. දැන් හතට අදිනවා. නගින්න නගින්න. මල කෙලියයි. ඇයි හයෙන් පස්සේ බස් යන්නේ නැතුව ත්‍රීවිල් විතරක් ගිරිඋල්ලයි පන්නලයි අතර දුවන්නේ?. හරිම ප්‍රශ්ණයක්. යාන්තම් බස් එකේ එල්ලිලා - බහින තැන හෝල්ට් එකටත් ඇවිත් දන්නේම නැතුව. බෙල් එක ගැහුවා. වදින්නේ නැහැ. බහිනවා - බහිනවා. !!! කොන්දොස්තරටත් කිව්වා බහිනවා කියලා. මායි කොන්දොස්තරයි දෙන්නම කෑගහනවා. ඒත් බස් එක යනවා හොල්ට් එකත් පහු කරන්. ඩයිවර් මහත්තයා මොබයිල් එකෙන් මලක් කඩන ගමන්. අපේ ගමේ නිතරම අත්තලා මුත්තලා කියන එකක් තමයි - බලු පූට්ටු වලට ගල් ගහන් එපා කියලා. මොනව කරන්නද බැහැ ගන්නත් එපායැ. බැරිමතැන කෑ ගැහුවා - බහිනෝ !!! බහිනෝ !!!. ඩයිවර් මල්ලි එක අතෙන් Leyland බස් එක දුවනවා. මුන්දැට කන ඇහෙන්නෙත් නැති තරම්. ආයෙත් කෑගැහුවා බහිනව බහිනවා - හෝල්ට් එක පහු වෙනවා. ඈහ් - බහිනවනන් බෙල් එක ගහන්න එපායැ. ඒකනේ බෙල් තියෙන්නේ. මොකටද මට කියන්නේ. බොලේ දැන් බෙල් එක වදින්නේ නැත්නම් මොකද කරන්නේ. එතනත් හරිම ප්‍රශ්ණයක්.

යාන්තන් දැන් පහට off වෙච්ච ලාංකික ශ්‍රම බලකායේ එක් ජවසම්පන්න සේවා දායකයෙක් කිලෝමීටර් හැටතුනක දුර ගෙදර දුවන් එනකොට වෙලාව අටයි. කිලෝමීටර් හැට තුන යන්න අපිට පැය තුනක් ගිහින්. පැයකට කිලෝමීටර් 20 ක ධාවන කාලයක්. බොලේ මට මේක පුට් සයිකලෙන් යන්න තිබුනේ. ඇයි මන් පුට් සයිකලෙන් නොගියේ. තවත් ප්‍රශ්ණයක්.
ගෙදට්ට එනකොට අම්මත් නෑ - නංගිත් පේන්න නැහැ. තාත්තා කොහේ හරි ගිහින් ඇති. කුස්සිය ඉස්සරහා කාමරේ අතු ගාපු කුණු ගොඩ එහෙම්මම. කොස්ස බිම. ඇයි මේ. අම්මලා හදිසියක්වත් වෙලා කොහෙවත් ගිහින්ද? ගෙදර එනවා කිව්වත් විශේෂයෙන් දගලන නිසා - ගොඩක් දවස්වලට මම ගෙදර එන්නේ කොල් එකක් වත් නොදීනේ. අම්මා - කට ඇරන් ටීවි එක ලඟ. මොකද්දෝ හින්දි වගේ මිනිස්සු විගඩන් නටන කෙබරයක්. ඕනෙ මඟුලක් ටිකක් මොකක්ද මේ කියලා බලනකොට ‘සප්නා’ බලන්න ඇවිල්ලලු. ඉතිං මේ කාමරය අතු නොගාම නිදහසේ සප්නා බලලා පුලුවන් වෙලාවක කාමරේ අස් කරානන් ඉවරනේ. තවත් ප්‍රශ්ණයක්.
ඊලඟට ගියේ කෑම මේසයට. BELCID හරි මොනවා හරි DIGENE සිරප් එකක් සාමාන්‍යෙයන් අපේ කෑම මේසෙත් ගොඩක් නූතන ගෙවල්වල කෑම මේස අසලත් මේ දවස්වල දකින සරල සුලබ දසුනක්. මගේ මතකය නිවැරදිනම් මම අවුරුදු 15 ඉදන් තමයි මේ සිරප් සැරෙන් සැරේ ගෙදර කෑම මේසෙ අසල ගැවසෙන්නේ. ඉතිං මම අම්මාට සමහර වෙලාවට කියනවා - අම්මේ ඔච්චර මිරිස් දාන්න එපා කෑම එකට. අම්මේ ඔච්චර දෙහි දාන්න එපා. ඔච්චර ලුණු දාන්න එපා. ඕනැවට වැඩිය හිතලා කිසිම ප්‍රශ්ණයක් දිග්ගස්සගෙන දගලන්න එපා. මේක කියනකොටත් අම්මට තරහයි. හරිම වදයක්. මේකා මට උයන හැටි උගන්නන්ත් පටන් අරන් !!! අම්මා කන්න කැමති ඇස් වලින් කඳුලු පනින්න සැරට මිරිස් දාලා දෙහි දාලානේ. ඉතිං අම්මට පහුගිය අවුරුදු 16 ක් ඕක කියලත් - තාම වෙනස් වෙන්න බැහැ. කුස්සියට ගියා - හොදට රතුවට ලූණු මිරිස් දෙහි දාල අනපු කරවල බැදුමයි, ගෙදර දෙහි ඇති තරම් තියෙන නිසා - හොදට දෙහි දාලා - ලෝහ බදුනට දාපු සම්බෝලෙයි දකිද්දිත් ඉන්න බැහැ. අම්මලා වෙනස් වෙන්නේ නැහැනේ. ඇයි මට වෙනස් වෙන් බැරි. තවත් ප්‍රශ්ණයක් ...

No comments: