Translate

Friday, March 27, 2015

2013 December 14 - පොතක් ගන්නත් ඕනේ ! කොළඹ යන්නත් ඕනේ!



අද උදේම බස් එකට නැගගත්තේ දෙයියනේ කියලා නිදහසේ ගෙදර එන්න හිතන්. ඊයේ පොතක් ගන්න කියලා පිට කොටුවේ ඇක්ස්පොග්‍රැපික් සාප්පුවට යන්න ඕනේ වුනත් - ගියෙ නැත්තේ මේ දවස් වල කොළඹ කොටුව කිට්ටුවෙන් ගොලෆේස් එක හරියෙන් වැලිකොට්ට බැදන් රේස් පදින කොලුවෝ ටිකක් හප්පන්වත් යයි කියලා බයට. කොහොම හරි බස් එකේ යනගමන් කාන්සියටත් එක්ක ඉන්ටනෙට් එකේ පත්තර බලන්න ගත්තා. ටිකට් එකේ ගාන හුරු නැති නිසා නිකමට වගේ ඇහුවා - මල්ලි මොකද මේ ගාන වැඩිවෙලා කියලා. ඉතිං ප්‍රසිද්ධියේ නොකිව්වට දැන් සති දෙක තුනක ඉදන් රටපුරාම බස්ටිකට් වල මිල වැඩි කරලා.
යුද්ධයෙන් පස්සේ ජනතාව පුදුමාකාර සංවර්ධනයක් අත්කරන් තියෙන නිසා තවදුරටත් බදු වැඩි කරන්න කියලා රජයෙන් ඉතාම සංවේදී බුද්ධිමත් තීරණයක් අරං. සංවර්ධන ඉලක්ක තව තවත් ඉක්මටම සපුරගන්න කියලා හිතන් දේශපාලන නායකයෝ තරගෙට වැඩ. වැඩ වැඩි නිසාම සමහර ඇමතිලට නඩුත්තුත් ගෙවන්න වෙලා ඒ ගොල්ලො මහන්සියෙන් උපයපු මුදලින්. අම්මට සිරි. ඇත්ත නේන්නම් - මීගමු පාර අයිනෙන්ම හයිවේ එකකුත් යන්නේ. හයිවේ එක පුරා බැනර් ගහලා - කටවුට් ගහලා, ප්‍රාදේශීය දේශපාලකතුමාලගේ විසාල මූනයි තඩි බඩයි දෙකම එක්ක. ඉතිං මේ පාරවල් එතුමලා හදලා තියෙන්නේ එතුමලා රෑ නිදිමරන් දුක්මහන්සියෙන් ව්‍යාපාර කරල හරි හම්බ කරපු සල්ලි පරිත්‍යාග වලින් කියලයි මාත් එක්කං ආපු විදේශිකයා හිතලා තියෙන්නේ. අර්තාපල් අල කිලෝව සිංගප්පූරුවෙත් ලංකාවට වැඩිය අඩුයි. මුලු කොළඹම සංවර්ධනය වෙලා ඉවර නිසා අපේ කට්ටිය දැන් ගොල් පේස් එකේ වැලි කොට්ට බැදන් හෙලුවැලි කාර් කටු වල රේස් පදිනවා. ඉතිං කොළඹ ප්‍රධාන පාරවල් අවහිර කරන් රෑ එළිවෙනකන් මේ රේස් දුවන්න හදන්නේ අපේ රටේ ජනතාවගේ ආර්තිකය නැංවීමට තියෙන ප්‍රධාන ක්‍රමෝපායක් විදියට මොඩිපයි කරන ලද හෙලුවැලි පරණ කාර් දිවීම ජනතාවගේ පරම අභිලාෂයක් වීම නිසාමයි. ජනතාවගේ බලවත් ඉල්ලීම නිසාම ඉතා අනර්ඝ තත්වයේ පෝමියුලා වර්ගයේ රථත් මේ තරග වලට එකතු කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්නවලු.
මෙන්න යකෝ තවත් මාර්තුකාවක්. කොළඹ බලු පොල. විලාසිතා බර බල්ලොයි - යන්තමට චිච්චිය වැහෙන්න ජංගි කෑල්ලක් ඇදගත්තු කෙල්ලොයි. ආසාවේ බෑ පිංතූර ටික බලන්න. අල්ලපු සීට් එකේ අංකලුත් කෙල හල හල එබෙනවා ඉන්ටනෙට් එකේ ලංකා බලු නිව්ස් බලන්න. ලංකාවේ බල්ලන්ටත් සුපිරි පොෂදායී කෑම වෙලක් ලබා දෙන අරමුණින් බේබිට බලු සුරතල් බලන්න බලු කෑම අඩු කරලා. සුලු අත්වැරදීමකින් දකුණු ආසියාවේ ලොකුම මත් කුඩු තොගය අගමැතිතුමා නිදහස් කරල දීලා. තවත් ඇමැති කෙනෙක් දුක් මහන්සියෙන් හම්බකරපුවාගේ ආදයම් වාර්තා බිරිඳ අතින් පත්තරේට කාන්දු වෙලාලු. එතුමා බිරිදට තර්ජනය කරලා නැහැ කියලා පොලිසිය මාධ්‍යට තහවුරු කරලා. ඉතිං මේ වගේ විනෝද ජනක ප්‍රවෘත්ති පත්තර පුරා වැහි වැහැලා.
වැඩි වෙලාවක් නෑ. මීගමුව ඉස්පිරිතාලෙන් ලඟින් බැහැ ගන්න එපායැ. සීනුව නාද වෙන්න කලින් රෝහලට ගියේ අපේ ගමේ හිතවත් වැඩිහිටියෙක් ඔත්පොල වෙලා නිසා බලන්න කියලා හිතාගෙන. අපේ රටේ දහසකුත් ඇස් පාදන්න දායක වෙච්ච මෙතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ආදර්සමත් ගුරුවරයෙක්. ඉස්පිරිතාලේ ඇදන් නැති නිසා රෑ එළිවෙනකන් පුටුවකට වෙලා හීතලේ ගැහි ගැහි හිටපු එතුමා - දවල් වෙනකොට වෙහෙස දරාගන්න බැරුව, තවත් රෝගියෙක්ගේ ඇදට ගොඩ වෙලා. එතුමාට ලොකු බිලකුත් දීලා අහවල් ටෙස්ට් ටික අහවල් පුද්ගලික රෝහලෙන් ගන්න!!! - අහවල් බේත්ටික ෆාමසියෙන් ගන්න etc etc කියලා. මේක තමයි ඇත්ත තත්වේ. ඉස්පිරිතාල වල බේත් නැහැ. ඉස්පිරිතාල වල ඇදන් නැහැ. එක්කෝ ලෙඩ්ඩු බිම. එක්කෝ හිතවත් අයත් එක්ක ඇදන් බෙදාගෙන. කැම්පස් වල කිසිම දෙයක් නැහැ. පාසැල් වල තත්වයත් එදා අවුරුදු 20 කට කලින් තිබ්බ තත්වෙන් කිසිම වෙනසක් වෙලා නැහැ. පාරකට බැහැලා සැනසීමෙන් යන්න බස් එකක් නැහැ. හැබැයි පෘවුත්ති බැලුවොත් රටේ සංවර්ධනය උතුරනවා. ලංකාවේ වාර්ෂික දල ජාතික නිශ්පාදනයත් ඉක්මන ගනන් තමයි සමහර - මේ ව්‍යාපෘති cost වෙලා තියෙන්නේ.
කවදාවක්වත් රටේ තියෙන අකාර්‍යක්ෂමතාව නාස්තිය හා ඉහවහා ගිය දූෂනය දේශපාලකයට දොස් පැවරීමෙන් පමණක් නවත්වන්න බැහැ. මිනිස්සු මාද්‍ය අධ්‍යාපන ක්‍රමය කියන මේ ත්‍රිත්වය මූලික කරන් හෘද්ධ සාක්ෂියට එකඟව ක්‍රියාකරන බහුතරයක් සිටින රටක් බවට අපි අපේ ආකල්ප පරිවර්ථනය කරගත යුතුයි. අපේ රටේ දේශපාලකයෝ අමතක කරන දෙයක් තියෙනවා.ඒක තමයි ඔබ ඔය කෑදරව නම ගහගෙන විවෘත්ත කරන හැම පලකයක්ම හැම මාවතක්ම හැම ගොඩනැගිල්ලක්ම ගොඩනගන්න මුදල් ඉපයුයේ මේ රටේ පන්ති බේදයකින් තොරව නීතිගරුක මිනිස්සු. ඔබ විසිල් ගහන් අත පය විසිකරන් පාරවල් වල මිනිස්සු යට කරන් පීඩාවට පත්කරමින් ජවයෙන් වේගයෙන් පුප්පන් ඉගිල්ලෙන්න - විවිධ වරදාන වරප්‍රසාද භුක්ති විදින්න මුදල් උපයන්නෙත් මේ රටේ සාමාන්‍ය නීතිගරුක මිනිස්සු. ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින් ඔබේ දරුවන්නටත් ඔබටත් සමාජ සාලා තැබෑරුම්වල නිදහසේ සරාගීව ආලිංගන වින්දනයෙන්ම පමණක් ජීවත් වෙන්න මුදල් දෙන්නේත් මේ මිනිස්සු. සුදුසුකම් වලින් තොරව - ආයාසයකින් වෙහෙසකින් තොරව, ඇගපත තලාගන්නේ නැතුවේ ඔබේ දරුවන්ට පහසුවෙන්ම ආයතනවල, රැකියාවල, ක්‍රීඩාවල, අනිත් සෑම පුටුවක නායකත්වය ගන්න සලසල තියෙන්නෙත් මේරටේම මිනිස්සු. ලෝකේ වෙන කිසිම රටක ඔබට මේ වරප්‍රසාද හිමිවන්නේ නැහැ.
එහෙව් රටේ මිනිස්සු විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෝ ඔත්පොල වෙනකොටවත් දෙන්න බේත්ටිකක් වත්, අඩුම ගානේ ඇදක් වත් නැත්නම් - අපි දැන්වත් හිතන්න ඕනේ, අපේ රට අපි යන ක්‍රමය වැරදියි කියලා. එකිනෙකාට ඇගිලි දික් කිරීමෙන් වැලකිලා මේ දෝෂ නිවැරදි කරගන්න හිතන්න අවශ්‍යයි. නැත්නම් තව පරම්පරා ගනනාවකටවත් මේ රටේ සැබෑ සැනසීමක් ගැන බලාපොරොත්තුවක් තියා අදහසක්වත් තියාගන්න වෙන එකක් නැහැ.

No comments: