Translate

Saturday, March 28, 2015

2014 July 14 - නම්‍යශීලිතාව



වයස යන්න යන්න ශාරීරික නම්‍යශීලිතාවය අඩුවෙනවා. මොලකැටි ලදරුවෙකුගේ අතපය වගේ ටිකක් වැඩුනු දරුවෙකුගේ අතපය නම්‍යශීලිනැහැ. ලදරුවා ශක්තිමත් වෙන්න වෙන්න නම්‍යශීලි ගතිය ඔහු කෙරෙන් දුරුවෙනවා. ලදරුවා තරුණයෙකු වෙනකොට මේ අතපය ලස්සනයි - සම කාන්තිමත්. ශාරීරික ශක්තිමත් භාවයෙන් ඔහු සතු උපරිමයක් කරා ලඟා වෙනවා. ඉතිං ශක්තිමත් වෙන්න වෙන්න පුහුණු නොකලොත් ශරීරයේ නම්‍යශීලීගතිය දුරු වෙනවා. ශක්තිමත් වෙනවා කියන්නේ එක අතකට නම්‍යශීලී බව ගිලිහෙනවා කියන එක තමයි. තරුණ වයස පහුවෙලා වැඩිහිටි වියපත් වයස් වෙනකොට මොනවකලත් නම්‍යශීලී ගතිය හිටින්නේ නැහැ. කොහොමහරි අපිට ජීවත් වෙන්න නම් මේ ශක්තිමත් බවත් නම්‍යශීලී බවත් දෙකම එකවගේ අවශ්‍ය වෙනවා. ඒත් මේ කියන්නේ ශාරීරික නම්‍යශීලි බවනේ. මානසික නම්‍යශීලි බවත් එහෙමයි. තමුන් වටේ පෞරෂයක් ශක්තිමත්ව ගොඩනැගෙන කොට නම්‍යශීලි බව දුරස් වෙනවා. නැත්නම් ඒ පෞරෂය රැකගන්න නම්‍යශීලි නොවී සිටින්න සිදුවෙනවා. මේක සාමාන්‍ය ලෝකයාට පොදු නීතියක්. එක එක පුද්ගලයාට විවිධ සම්මත උෂ්ණත්ව පීඩන තත්ව යටතේදී විවිධ පාලිත තත්ව යටතේදී මේ තත්වයේ විවිධ උච්ඡාවචනයන්ට ලක්වුවත්, නියමයක් විදියටනම් මේක ජීවිතේ මූලධර්මයක් ලෙස සලකන්න පුලුවන් දෙයක්.
ඉතිං මේ මූලධර්මය සෑම සියලු ලෝක සත්වයාටම පොදුයිලු. අපි හැමෝම මේකට යටත්ලු. ජීවිතේ විවිධ පරිච්ඡේදයන් වලදි අපේ අවශ්‍යතාවලුත් වෙනස් වෙනවාලු. චූටි කාලේ කිරි බොන්න, ඊට පස්සේ ඇවිදින්න, ඊට පස්සේ ඉස්කෝලේ යන්න, ඊට පස්සේ බයිසිකලයක් පදින්න, මුද්දර එකතු කරන්න, විභාග පාස් කරන්න, විශ්වවිද්්‍යාල, ආදරය, රාගය, යාන වාහන, ගේ දොර, වතු පිට ඉඩ කඩම්, හරක බාන, දරු මුනුබුරෝ, විවිධ නම් වලින් අරුත් ගැන්වුනු බලාපොරොත්තු විවිධ කාල රාමු තුල අපිට ජීවත් වෙන්න අරමුණු සෙට් කරලා දෙනවා. මේ අරමුණු ගොඩක් කාලානුරූපව තමුන් ගෙවන ජීවිතයේ පරිච්ඡේදය මත ගොඩනැගුනු දේවල්. කොහොම කොහොම හරි ජීවිතේ කියලා අපි විසින් නියමකරගත් අරමුණු සාක්ෂාත් කරගන්න වෙරදරමින් අපි විවිධ කාල ඡේදයන් පහුකරනවා. ජීවිතේ කියලා සදාකාලික දෙයක් අපි දකින්න කොච්චර කැමති වුනත් ජීවිතේ අකාලික එකම දේ මේ වෙනස් වීම් විතරයි. මේ වෙනස්වීම් කවුරු කරනවද කවුරු මෙහෙයවනවද කියල අපි දන්නේ නැති වුනාට, මේ වෙනස්වීම් බෝහෝ විට අපේ සම්පූර්ණ පාලනයෙන් තොරයි. නමුත් අපිටත් යම් තරමක පාලනයක් නැතුවත් නෙවෙයි.
මේ හේතුව නිසාම විවිධ මායවන් පසුපස හඹමින් කාලය මරන අපි ජීවිතේ නියම ස්වභාවය අවබෝධ කරගන්න සෑහෙන කාලයක් ගත කරනවා. ඒ අවබෝධය සඳහා පුද්ගලයා ගත කරන කාලය තමුන් ලබන අත්දැකීම් මත ගොඩක් වෙනස් වෙනවා. ජීවිතේ පරාජයන් පසුබැසීම් නොවිදපු තරුණ ජවසම්පන්න සියලු දේ සපිරුණු කෙනෙක්ට එකපාරටම මේ ජීවිතේ සැබෑ ස්වභාය පෙනෙන ගතිය හොරයි. ඒ වගේම මේ සාර්ථකත්වය කියන වචන තුල රැවටිලා මාන්නයෙන් මුලා වුන කෙනෙක්ටනම් ජීවිතේ ඇත්ත පේන්නෙම නැහැ. මිහිරි අත්දැකීම් පමණක් ලබමින්ම නිතරම ජීවිතය ගත කරන්න නොලැබුනත් අමිහිරි අත්දැකීම් හදවතින් විමසිමින් බුද්ධියෙන් විසදගන්න තරම් දැනුමක් පරිණත බවක් අපි තුලට දියුණු කරගන්න ජීවිතේ කටුක අත්දැකීම් පිටුවහලක් වෙනවා. කෙතරම් කටුක අත්දැකීම් ලැබුවත්, කොතරම් මිහිරි අත්දැකීම් ලැබුවත් කටුකත්වය හෝ මිහිරත්වය නොතකා ඒ තුලින් නොසැලී ඒ ජීවිතය තුල මානසික සාමයෙන් ජීවත් වෙනවා ඇරෙන්න, ඇත්තටම මේ ජීවිතයෙන් අපිට ගෙනියන්න කියලනම් කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ කරපු හොද දෙයක් ඇරෙන්න. දර්ශනීය දේ නිතරම ආකර්ෂණීයයි. ඒත් ඒ ඊට වඩා දර්ෂනීය දේයක් දකිනකන් විතරයි. ප්‍රනීත දේ නිතරම ප්‍රනීත වෙන්නේ ඊට වඩා ප්‍රනීත දෙයක් රස බලනකන් විතරයි. රසය නිතරම අධ්‍යාත්මයට නැඹුරුවුනොත් සරු දේත් නිසරු දේත් වෙන් වෙන්ව පෙනෙනවා. රසය ආශ්වාදයක් වින්දනයක් ඇලීමක් වෙනතරමට ජීවිතේ වෙහෙසකරයි. පීඩාකාරීයි. අතෘප්තිකරයි.
තෘප්තිකර නැත්නම් පිනවීම මූලික කරගත්තු ජීවිතයකට වඩා අවබෝධය තුල ප්‍රබෝධාත්මක ජීවිතයක් ඕනෑම පරිසර තත්වයකට ගැලපෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ප්‍රබෝධමත් කියන්නේ motivated කියන එකනේ. Motivation කියන්නේ ජීවත් වෙන්න තියෙන එකම Innovation එක. ඒ වගේම අවබෝධයත් එක වගේ වැදගත්. ඒක හින්දා මොන හේතුවකටත් අවබෝධයෙන් ලබාගත් Motivation එක විනාස කරන්න ඉඩ ලැබෙන්න තරම් හිත දුර්වල කරගන්න හොද නැහැ. හැබැයි හිත ශක්තිමත් වෙනකොට මතක තියාගන්න නම්‍යශීලි බව ගිලිහෙනවා. ඉතිං ශක්තිමත් වෙන තරමටම නම්‍යශීලි වෙන්නත් වෙනවා. නම්‍යශීලි වෙනවා කියන්නේ worry වෙනවා කියන එක නම් නෙමෙයි. !!!

No comments: