මාලිඟා කන්ද ආරණ්‍ය සේනාසනයේ අතිගරු මාහිමිපානන්ගේ සාකච්ඡාවක් ඇසුරිණි
අද අපිට නිරන්තරයෙන් ඇහෙන දෙයක් තමයි ජාතිය රැකගමු ආගම රැකගමු කියන යටන් පාඨ. හැබැයි මේ ජාතිය රැකගන්නේ කොහොමද ආගම රැකගන්නේ කොහොමද කියන එකට ගොඩක් බෞද්ධ කියල කෑ ගහන සමහර අය ගාව තියෙන උත්තරය තමයි අනික් ජාතීන් අනික් ආගම් අදහන පිරිස සමාජයේ නොපැවතිය යුතු සමාජයේ ගර්හාවට ලක්විය යුතු, සමාජයේ වරප්‍රසාද හා අයිතීන් සිංහල බෞද්ධ පිරිසට තරම් නොලැබිය යුතුයි කියන ජුගුස්සාජනක ආකල්ප සමූහය මත ඉදන් සටන් කරන එක. "යුක්තිය පිලිබද සම්මත ලෝකයේ අදහසට වඩා ආර්‍ය මාර්ගයේ දහම් අදහස් වෙනස්. ඒවට ගොඩක් අය බැලූ බැල්මට එක පාරටම එකඟ නොවෙන්න පුලුවන්. ඕවා අපි එකපාරටම කියන්න ගියොත් අපිටත් හාමුදුරුවරුන්ගෙන් දායක මහත්තුරුන්ගෙන් ගුටි කන්න වෙනවා."
සිංහල කියන ජාතිය බෞද්ධ කියන ආගමට ගහට පොත්ත වගේ ඇලිලා තියෙන බව සැබෑවක්. හැබැයි අද සමහර බෞද්ධයැයි කියලා කෑ ගහන කඩ ගිනිතියන ගහ මරා ගන්න වෛරය ද්වේෂය වපුරන චීවර ධාරීන් ඇතුලු සිව්වනක් පිරිස කරන්නේ මේ පොත්තට ගෙනත් දිලීර වෛරස් දාලා වඩා වේගයෙන් ජාතියත් ආගමත් විනාස කරන්න දොරටු විවර කරණ එක කියන එක ගොඩක් පිරිසක් අවබෝධ කරගෙන නැහැ. දැන් බලන්න මේ ගැටුම් ගැන ලෝකයට යන මතය සැබෑ දෙයට වඩා වෙනස්. ලෝකයට යන්නේ සිංහලයා වෙනස් කම් කලා සිංහලයා මහාජාතිය අසාදාරණ කම් කලා කියලා. හැබැයි ඇත්ත ඒක නොවෙයි වෙන්න පුලුවන්. නමුත් වෛරයට වෛරයෙන් පිලිතුරු දෙන්න ගියාම හරි වැරැද්ද ලොකයාට තොරගන්න බැරි තරමට සංකීර්ණ වෙනවා.
බුද්ධාගමේ පරිහාණිය සිද්ධ වෙන ආකාරය ගැන ධර්ම දේශනාවල අපි අහලා තියෙන විදියට බුද්ධාගම විනාශ කරන්නේ අබෞද්ධයන් විතරක්නම් නෙමෙයි. පරිනිර්වාණ මංචකයේ සුබද්දගේ වචනය හෙලි කරන යථාර්ථය තමයි මේ දහමට එරෙහි වන්නන් මේ ශාසනය තුලින්ම ඇතිවෙන බව. ඇත්තටම බැලුවොත් බුද්ධිමතුන් සිටිනතාක් බුද්ධාගම විනාස කරන්න මේ ලොකෙන් තුරන් කරන්න කිසිම විදියක් නැහැ - මොකද ඒ ධර්ම ස්වාක්කාත විදියට මැනවින් ලොක ස්වභාවය හා විමුක්ති මාර්ගය දේශන කරලා තියෙන නිසාත්, උගත් අත්දැකීම් සහිත පරිණත බුද්ධිමතුන් බුදු දහමේ උගන්වන කරුණු වල ප්‍රායෝගිකත්වයත් යථාර්ථවාදී ස්වභාවයත් කර්මය විපාකය, හේතු පල වාදය වැනි කරුණූ කාරණත් සසර පැවැත්මත් එහි පැවැත්මට තිත තැබිය හැකි ආකරය පිළබඳවත්, බැහැර කරන්න බැරි තරම් වැදගත් න්‍යායන් ලෙස හැමදාම ජාති ආගම් බේදයකින් තොරව ප්‍රසාදයට ලක් කරණවා. ඒක නිසාම බුද්ධාගම විනාශ කරන්න බැහැ කියලා දැන ගන්න මාරයා මේක නැති කරන්න කරන්නේ ධර්මය ලෙස බුදුන් විසින් දේශිත දේ වෙනස් කරලා, බෞද්ධයෝ විදියට - නැත්නම් චීවරධාරීන් විදියට පෙනී සිටිමින් බුද්ධ ධර්මය විකෘත්ති කරන එක. කවුද මාරය විසින් ශාසනය විනාස කරන්න මේ එවපු තීර්තකයෝ? - අපි අපි විසින් නොදැනම මේ තීර්තකයෝ බවට පත්වෙන බව තමයි සමහර වෙලාවට පේන්න තියෙන්නේ. මේක තමයි ලෝක ස්වභාවය. මුගලන් හාමුදුරුවෝ ශාසනය තුල ඇති කරගන්න ප්‍රසිද්ධිය ප්‍රසාදයම ඒ හාමුදුරුවන්ට කර්ම පල දෙන්න හේතුව වෙනවා. මුගලන් හාමුදුරුවන්ගේ ප්‍රාතිහාර්‍ය නිසාම මිනිසුන් ප්‍රසාදයට පත්වීම නිසා බුදු දහමට මිනිසුන් පෙළඹෙන ගතිය වැඩි බව සිතන තීර්තකයින් මුගලන් මහරහතන් වහන්සේ ඝාතනයට සැලසුම් කරනවා.
ඉතිං අපි අහල තියෙන ධර්ම දේශනාවල ක්‍රමයට ධර්මය විනාස කරන තීර්තකයන් වන්නේ - නැත්නම් බුද්ධ ශාසනය මේ ලෝකෙන් තුරන් වෙන ලෙස - එහෙමත් නැත්නම් සමාජයේ බුද්ධිමත් පිරිසගේ අප්‍රසාදයට ලක්කරන්න කරන්නේ මේ බෞද්ධ ලෙස පෙනීසිටිමින් අධර්මයේ යෙදෙන රාග දොෂ මොහ ක්‍රෝධ ආදී නොයෙක් විස ආකල්ප සමාජය තුල වපුරමින් සැබෑ ධර්මය කුමක්දැයි බහු තර මහ ජනයාට හදුනාගත නොහැකි තරමට - වෙන්කර ගත නොහැකි තරමට අධර්මය ධර්මයට කලවම් කරන පිරිස. මේක කොච්චර උඩු දුවල තියනවද කියලා හිතුවොත් ගොඩක් පන්සල් වල - සමහර දේශනා වල අර්ථය, පරමාර්ථය වෙන්නේ ගින්නට ගින්නෙන් පිළිතුරු දීමත්, ක්‍රෝධයට ක්‍රෝධයෙන් පිළිතුරු දීමත්, වෛරයට වෛරය වැපිරීමත් - අන්‍යාගමිකයන් ද්වේෂයට පිළිකුලට ලක් කිරීමටත් indirectly කටයුතු කාරණා කෙරෙන එක. බෞද්ධැයි කියාගත්තට ඇත්තටම බැලුවොත් මේවට අතහිත දෙන්නේ මූලිකත්වය ගන්නේ බොහෝවිට වෙළඳ පොල තරගයට බඩු විකුණගන්න, අනික් වුන් කඩ අරිනවට තරහ, අනික් ඒවුන්ගේ ආර්ථික දියුණුව බලන්න බැරි - සසර ගමනේ මුංමුලා වොලා ඉබාගාතේ දුවන අරමුණක් නැති පෘතග්ජන පිරිස තමයි. මේවට කවුරුවත් එක පාරටම වැරදි නැහැ. මේක තමයි ලොකයේ පැවැත්මට පවතින ස්වභාවය. නමුත් මේ ස්වභාවය ඉක්මවලා නිවෙන එක තමයි - බෞද්ධයෝ, නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස කරන්න ඕනේ.
මේ බුද්ධාගම කියන එක - බෞද්ධ සාසනය කියන එක තම තමන්ගේ පැවැත්ම සඳහා අරගලයේදී ඉත්තෙක් නොකරගන්න අපි හිතන්න ඕනේ. අපේ ජීවන සටනේ අරුත් දහම් අරුත් එක්ක පටලලා ඒ දහම් අරුත් වෙනස් විදියට වාක්‍යකරණය කරලා ඔය කියන රාග ද්වේෂ මෝහ ආදියෙන් අරුමෝසම් කරවල සමාජගත කිරීම මහා පාපයක් වෙන්න පුලුවනි. චීවරධාරීන් ඒ ලෙස හැසීරීම ඊට වඩා වැරදි ආදර්ෂයක් විය හැකියි. මොකද ආවේගශීලි අණුවන ක්‍රියා නිසා යටපත් වෙන සැබෑ ධර්මය බොහෝ පිරිසකට සැනසීමක් විමුක්තියක් ලබන්න තියෙන ඉඩ කඩ අහුරනවා. බුද්ධාගමේ සබ්බ පාපස්ස අකරණං කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ - සියලු පවින් වලකින්න කියලා. ඒ කියන්නේ අමාරු වුනත් සිතින් කයින් වචනයෙන් කරන සියලු අයහපත් දෙයින් ඈත් වෙන්න කියලා. ඉතිං පෘතක්ජනයන්ට සියලු තැන්හි අවංක වෙන්න බැරි හින්දා අඩුම ගානේ ආගම වෙනස් විදියට අරුත් දක්වන එකවත් - නැත්නම් ආගම රැකගන්න කියල ගහ මරාගන්න එකවත් මුලින් නවත්තන්න ඕනේ. බුද්ධාගම කවදාවත් බලෙන් පොවන දෙයක් නෙමෙයි. කලකිරීමෙන් හෝ අභිමානයෙන් ගතයුතු දෙයකුත් නෙමෙයිලු. අවබෝධයෙන්ම පමණක් දැන ඉගෙන පාවිච්චි විය යුතු දෙයක් කියලයි අපි අහලා තියෙන්නේ. බුද්ධාගම රැකෙන්නේ ධර්මයේ දේශනා කරන විදියට ක්‍රියාකරන ආදර්ශවත් පුද්ගලයන් නිසා මිසක් ආගම රැකගන්න කියලා ගල් ගහන උදවිය නිසා නෙමෙයි. මිගෙට්ටු වත්තේ ගුණාන්ද හාමුදුරුවෝ වාදයෙන් දාර්ෂනිකව බුද්ධාගම කියන දෙය විසින් මතු කරන දැක්ම අවබෝධයෙන් බුද්ධියෙන් ආමන්ත්‍රණය කරපු විදිය දැකපු බටහිර අබෞද්ධයෝ ලංකාවට බුදු දහම හොයාගෙන ආවා මිසක් ගල් ගහන පල්ලි කඩන මිනී මරාංගන සිව්වනක් පිරිස දැකලා පැහැදුනේ නැහැ. ඉතිං අසෝක රජතුමා ඉදුරන් සංසිදවපු පුංචි සාමනේර හිමි දැකලා යුද්ධ අත ඇරලා සාමකාමී වුනා මිසක් මරාගන්න හිමිවරු සරණ ගිහින් දික් විජය අත ඇරියේ නැහැ. මේ ලෝකය කියලා සෙසු ලෝකයා දකින දේ නිවැරදියි කියන්න දහමක් බුද්ධාගම කියන දෙය තුල නැහැ මගේ හිතේ.
ඉතිං මුස්ලිම් ආක්‍රමණිකයෝ නාලන්දා වගේ විශ්ව විද්‍යාල ගිනි තියලා දැම්මා අතීතයේදිත්. වටිනා උගත් බෞද්ධ ස්වාමින් වහන්සේලා මරලා පුච්චලා දාන්නත් ඇති. වටිනා දහම් ග්‍රන්ථ ගිනි තියන්නත් ඇති. ඒකෙන් ලෝකයට - ලොක සත්වයාට සැනසෙන්න තිබුණු වටිනා මාර්ග බොහෝමයක් ඇහිරෙන්න ඇති. මාන්නයෙන් අන්ධ වුනාම ක්‍රෝධයෙන් අන්ධ වුනාම මිනිසුන්ට කරන්න බැරි දෙයක් ලෝකේ නැහැලු. ලෝකේ ස්වභාවයෙන් බුදුන්ටත් ගැලවෙන්න පුලුවන් වුනා කියලා බුද්ධ ධර්මයේ අපි අහලා නැහැ. ඉර්දි ප්‍රාතීහාර්යෙන් අග තැන්පත් අග්‍රසාවක මුගලන් හිමියන්ටත් කර්මය හමුවේ විපාකය මගඅරින්න බැරි වුනා කියලා නිර්භීතව සත්‍ය දේශනා කරන ආගමක් වන බුද්ධාගම බුද්ධාගම නමින් කිසිම සතෙකුගේ කිසිම සිතිවිල්ලක් පාරවන්න හිතන්නේ නැති බව කරණීය මත්ත සූත්‍රය කියෙව්ව ගමන්ම තේරුම් යනවා. එදා එළාර රජු සමග යුද්ධයකට පැටලුනු දුටු ගැමුණු රජතුමා එළාර රජතුමාගේ සොහොන අසලින් යනකොට නිශ්ශබ්දවත් අසුපිටින් බැස ගෞරව කර යන ලෙසත් අණ පනත් හදවලා තිබ්බා. යුද්ධ කරපු සොලීන්ට රට තුල සාමකාමීව ජීවත් වෙන්න අවස්ථාව සකසලා දුන්න කියලා සඳහන් වෙනවා.
ඉතිං අන්‍යාගමිකකරණය කියන කාරණාව අපි නැවත නැවතත් විමසලා බැලුවොත් - බුදුන් වහන්සේ ඇතුලු බොහෝ ආගමික සාස්තෘවරු දේශනා කරන්නේ තමන්ගේ ධර්මය අන්‍යාගමිකයන්ට. එදා අන්‍යාගම්කරණ පනතක් තිබ්බනම් බුදුන් වහන්සේටත් ධර්මය දේශනා කරන්න වෙන්නේ නැහැ. අද බොහෝ මුස්ලිම් රටවල ආගමික නිදහසක් නැති බව ඇත්ත. සවුදි ගිහින් බුදු පිළිමයක් තියාගන්න එකත් මරණ දඩුවමට හේතුවක්. නමුත් ඒ රටවල් වලත් බුද්ධිමතුන් සිටීනම් ඔවුන්ටත් බුද්ධාගමේ හරය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම නිවැරදි ලෙස දැනගන්න ක්‍රමයක් තිබුනොත්, බුද්ධිය මොරපු ජන කොටසක් සිටියොත් - ඔවුන් කෙලෙසෙකින්වත් ලෝක ස්වභාවය ප්‍රතික්ෂේප නොකරාවි. එතකොට විමුක්තියට මගක් හොයාවි. එතකොට බුද්ධ දේශනාවන් කියවලා හොයලා බලලා අවබෝධ කරගන්න උත්සාහ ගනීවි. අන්ධයෙක්ට ලස්සන වැඩක් නැහැලු. ඉතිං කොහෙත් අන්ධයෝ ඉන්නවා. අන්ධයන්ට අප්‍රිය වුනාට බුද්ධිමතුන්ට මේ ආගම අප්‍රිය කෙරෙව්වොත් බුද්ධාගම තව අවුරුදු 2500 ක් තුල අඩුම ගානේ එක පුද්ගලයෙක්ට හරි සසර විමුක්තිය හොයාගන්න උදව් නොවේවි. නිගන්ට නාථපුත්ථගේ ශ්‍රාවකයෙන් වෙච්ච අනේපිඩු සිටුතුමා, අන්‍යාගමික විශාකා මහ උපාසිකාව ඇතුලු මේ සියලු දෙනා අන්‍යාගමිකයෝ වගේම ඔවුන් තෙරුවන් සරණ ගියත් ඔවුන්ට තමුන්ගේ පෙර ශාස්තෘවරුන්ට ගරහන්න නොසලකා හරින්න කියලා බුද්ධ දේශනවල නැතුව ඇති. ඉතිං බුද්ධාගමේ ඇත්තේ මේ කවුරු ලොකුද කවුද පොඩිද කවුරු හරිද කවුරු වැරදිද කියන එකට වඩා එහාට ගිය - සසර විනිවිද දැකපු කෙනෙක්ට - නැත්නම් ලෝකයේ සැබෑ යථාර්ථවාදී ස්වභාවය අවබෝධයෙන් දැකපු කෙනෙක්ට මේ අන්තෝ ජටා බහි ජටා පැටලිලි වලින් ගැලවිලා ගොඩ යන ක්‍රමයක්. ඒක හින්දා අනන් මනන් පටලගෙන බුද්ධාගම රකින්න කියලා චීවරයත් සමග ද්වේෂයෙන් වෛරයෙන් ගහා මරාගන්න ගියාම වෙන්නේ ඇත්ත බුද්ධාගම ඉක්මන්ටම තුරන් වෙන එක. බුද්ධාගමේ දැක්ම - නැත්නම් ආකල්ප පිළිබඳ ඉතාම වෙනස් මතයක් සමාජ ගත වෙලා සැබැ දහම යටපත් වෙන එක.
උන් ඇෆ්ගන් බුදුපිලිම කැඩුවට උන් බෞද්ධ රටවල් ආක්‍රමණය කරපු එක අපිට කියලා දෙනවා ලොකයේ කිසිම දෙයක් සදා කාලික නැහැ කියලා. බුද්ධාගම පහලවුන ඉන්දියාවෙන් දැනටමත් ඒක දුරස් වීමත් තවත් එක උදාහරණයක්. මේ වෙනස්වන ස්වභාවය, ඒ ලෝක ධර්මය - යථාර්ථය, බුදු දහමටත් පොදුයි සිංහල ජාතියටත් පොදුයි - අනෙක් ආගම් වලටත් පොදුයි. මේ ලොකේ තියෙන්නේ පැවැත්මට මිසක් නැවැත්මට නෙමෙයි. ඉතිං පැවැත්මටම දේවල් යෙදන එක තමයි ස්වභාවය.
ඉතිං බණ කියන්න තරම් අපි දැනුවත් නැහැ. අපි එතරම් සිල්වතුත් නැහැ. නමුත් ආගම මූලික කටයුතු වලදි හැගීමට වහල්වෙලා ද්වේෂ සහගතව - නැත්නම් ආත්ම ලාභය, සසර පැවැත්ම සඳහා දහම් කරුණු පැටලෙව්වොත් සැබෑ ධර්මය අපි අතරින් ඉක්මනින් තුරන් වෙලා යාවි. එදාට බුද්ධාගම අදටත් වඩා නැත්තටම නැති වේවි. ඒක හින්දා ලෞකික ලෝකයේ ආරවුල් ලොකෝත්තර ලෝකයට පැටලෙව්වොත් දැනටමත් අපි ආගම රැකගැනීමට වඩා ආගම විනාස කිරීමට තමයි නොදැනුවත්ව දායක වෙන්නේ. මේ නොදැනුවත් කම තමයි බුද්ධාම විනාශ වෙන්න යම් දවසක හේතු වෙන්නේ කියලා අපේ හාමුදුරුවෝ කිව්වා. මේ නොදැනුවත් කමම තමයි බුද්ධාගම ලොකයෙන් තුරන් කරන්න මාරයා පාවිච්චි කරන්නෙත් කියලා අපේ හාමුදුරුවෝ කිව්වේ. කවුරුත් ධර්මයේ හැසිරෙන්නේ නැහැ. නමුත් ධර්මය රකින්න කියලා ගහ මරා ගන්නවා !!!
මටනම් හිතෙන්නේ සිංහලයා අමාරුවෙන් හරි ධාර්මික වුනොත් - ධර්මයේ පුලුවං විදියටවත් හැසිරෙන්න උත්සාහ කලොත් - “ධම්මො භවේ රක්ඛති ධම්ම චාරී” කියලා, සිංහල ජාතිය පෟඪ ජාතියක් ලෙස චිරාත් කාලයක් විවිධ චන්ද මාරුත හමුවේ ඉන්ද්‍රඛීලය් ලෙස වැජඹේවි.
No comments:
Post a Comment