Translate

Saturday, March 28, 2015

2014 September 21 - අපි වයසක වෙලා වගේ හිතට දැනෙනවා




ගැහැණියෙකුගේ හා පිරිමියෙකුගේ සිතුවිලි වල පුදුමාකාර වෙනසක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට ගැටලුවක් දිහා පිරිමියෙක් බලන කෝණයට වඩා හාත්පස වෙනස් කෝණයකින් තමයි ගැහැණියක් බලන්නේ. මේ ආකල්පමය වෙනස් බව අවබෝධ නොකරගන්න යුවතිපති යුවලක් ඉතා ඉක්මනින් තමුන්ගේ ජීවිත නීරස කරගන්නවා. සමහර වෙලාවට මම මෙහෙම ලියනවා කියලා මගේ හිතවත්තු මට ආදරය කරන පිරිස දොස් කියනවා. නමුත් අපි පුද්ගලික ජීවිතේ අත්දකින සිදුවීම් නිසි ලෙස සමාලෝචනය කලොත් - මේ ගැන උගත් දැනුවත් පරිනත අනික් අයගේ අදහස් උදහස් උපදෙස් විමසලා ජීවිතය අර්ථවත් කරගන්න අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියලා හිතිච්ච නිසා මට මගේ පුද්ගලික ජීවිතයේ ලද අත්දැකීමක් face book එකට එකතු කරන්න හිතුවා.
අපේ අම්මයි තාත්තයි දෙන්නම ජීවිතේ මැදිවිය පසුකරලා වැඩිහිටි වියත් පසුකරමින්. ඇත්තටම ඔවුන් දැන් ශාරීරික වශයෙන් ගොඩක් දුර්වල වෙන්නත් පටන් අරන්. මේ දුර්වලවීමත් එක්කම ජීවිතේ යථාර්ථය පසක් කරගන්න ඔවුන් ජීවිතේ ඉතිරි අදියර කරා ලැහැස්ති වෙනවා. මෙහිදි තාත්තා ගොඩක් මුහුකුරා ගිහින්. තරුණකාලේ මැදිවියේ දඩබ්බර මුරණ්ඩු කාටවත් නාහන ආගමට දහමට නැඹුරුවට වඩා ඒක වෙනස් කරන්න හිතපු තාත්තා - පුදුම විදියට වෙනස් වෙනවා. කවදත් තාත්ත පොත පතට නැඹුරුයි. දාර්ෂනිකයි. නමුත් සුලු දේටත් කිපෙන ස්වභාවයෙන් යුක්තයි. උහුගේ උපන් ලක්ෂණයක් වෙච්ච මේ ගතිය එකපාරටම වෙනස් කරගන්න එයාට අමාරුයි. නමුත් තාත්තා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුක්ති සහගතයි. අවබෝධ කරගැනීමේ ශක්තියෙන් යුතුයි. අව්‍යාජයි.
අම්මා හැම ගැහැණියක් වගේම හැඟිම් බරයි, බුද්ධිගෝචර නොවන ඇය භාව ගොචරයි, නිතරම judgmental, ආගමට නැඹුරුයි නමුත් අවබෝධ කරගැනීමේ හා විචක්ෂණ විශ්ලේෂණ ඥානයෙන් දුර්වලයි. මට මතක මුල්ම දවස්වල ලියෝතොස්තෝයිගේ මක්සිම් ගොර්කිගේ ලෙනින්ගේ කාල්මාක්ස් ගේ විප්ලවීය වමට බර පොත් කියවපු තාත්තා - පස්සේ දයාරෝහණ අතුකොරළ මහත්තයාගේ පරිවර්ථන වෙච්ච දියුණුවේ රන් දොරටුව වගේ පොත් කියවමින් ජීවිතයේ හරි මග තෝරගන්නත් සාර්ථකත්වය ලඟා කරගන්නත් අරගලයක හිටියා. නමුත් දැන් තාත්තා මේ අරගලය වෙනස් කරල ජීවිතේ අත හරින මග තෝරන්. තාත්තගේ දැන් පොත් අතර නොයේක් බෞද්ධ පොත පත, තිබ්බත මල පොත, මරණය, මරණය මුහුන දෙන විදිය, මරණයේදී සිත අවබෝධයකට පිහිටියයුතු ආකරය ගැන පොත් පත් දිබ්බ චක්කු, අන්තරාභවය, සොහොන් ගැබ, අධ්‍යාත්මික ලෝකය වගේ පරිවර්ථන අධ්‍යනය කරනවා.
ඉතිං ඉරිදා රෑ වෙනකොට තාත්තා කාමරයට වෙලා බණක් දාලා. ලස්සන හර බර ධර්ම දේශනාවක්. මමත් බත් එක බෙදාගෙන ඒ කිට්ටුව පැත්තකට ගිහින් බණ ටිකට ටිකක් කණ දාගෙන හිටියා. අනික් පැත්තේ අම්මා රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය ගැන සතුටු වෙන අතරේ JVP එකේ සීට් මදි එක ගැන දුක් වෙන ගමන් TV එකේ කතා කරන මැතිවරණ ජයග්‍රහණයෙන් උඩ පනින නූගත් මිනිස්සුන්ට දෙහි කපනවා නංගිවත් අල්ලන්. අම්මත් වයසයිනේ. අම්මේ අර හොද බණ ටිකක් යනවා අහන්නකෝ.
“ අපිට බණ ඕනේ නැහැ. අපි අපේ වැඩ හරියට කරනවා. ඔය මනුස්සයා දැන් බණ අහනවා. බණ අහලා විතරක් හරි යනවයැ. ඒවා පිළිපදින්නත් එපායැ. ගෙදර හැසිරෙන්නේ සරපයෙක් වගේ .“ උදේ ඉදන් වත්තේ මිනිස්සු එක්ක පොල් කඩන්න වෙහෙසවුනු අම්මා කියනවා.
තාත්තට වගේ වගක් නැහැ බණ අහනවා. එයා ඒ මොහොතේ හරි එදිනෙදා මෝඩ ජීවිතෙන් මිදිලා අනුන්ගේ ප්‍රශ්ණ තමුන්ගේ කර ගන්නේ නැතුව බණ අහන ගමන් මොනවද ලියා ගන්නවා. අම්මා තාම දවසකට දෙකකට කලින් වෙච්ච ගැටලුවකින් මූණ පුලුටු කරන් ඒකත් අල්ලන් ඡන්දත් අල්න් ගෙදර වැඩත් තදින්ම අල්ලන් - ගෙදර දොර වැඩේදි තාත්තාගේ සහය මදි කියන සිතුවිල්ලත් අල්ලන් TV බල බල හිනාවෙනවා - යටි හිතේ ද්වේෂයත් ටිකක් තියන් තාත්තා ගැන අප්‍රසන්න හැඟීමකුත් ඇති කරගත්තා - මම බණ ටිකක් අහමුයි කියපුවාම.
ඉතිං මට හිතුනා දැන් මට නිහඩ වෙන්න වෙලාව හරි. නංගිට කිව්වා ගිහිං බණ ටිකක් අහනවා - කියලා. ඒකී එක එච්චර ගණන් ගන්නේ නැතුව මොකක්ද ටෙලියක් බලන්න යනවා දැක්කා.
අම්මාගේ ජීවිතය තමයි පවුල. එතනින් එහාට තමුන්ගේ පුද්ගලික ජීවිතයක් තියෙනවා - ඒකේ ගැලවිල්ල තමුන් විසින් හොයගත යුතුයි කියන අවබෝධය අම්මට ගිලිහාලා. මේ ගැලවිල්ල තියෙන්නේ තමුන්ගේ සිතුම් පැතුම් සිතුවිලි ආකල්ප වෙනස් කරගැනීමෙන් කියන දෙය අම්මා සමහර විට දකින්නේ වැරදි දෙයක් විදියට නැත්නම් ආත්මාර්ථකාමී කමක් විදියට. එයා ඒ සිතුවිලි දැඩිව අල්ලන් ජීවිතේ සැනසීමත් හොයන්න හදනවා.
මේ අතර ගෙදරට අමුත්තෙක් ඇවිත්. පොඩි පොළොන් පොඩිත්තෙක්. උන්දෑ කොහේදෝ යන ගමන් කොරිඩෝ එකට ඇවිත් නංගි පාගලා. ගේ ඇතුලට ඇවිත් කෑ ගහනවා සර්පයෙක් සෙරෙප්පුවට පෑගුණා කියලා. සර්පයා කාලා නැහැ. තාත්තට වගේ වගක් නැහැ. ඇහුණත් නෑහුනා වගේ බණ අහනවා. කොහොමටත් මේ ගොල්ලෝ බොරුවට කෑ ගහනවා කියලා අපි හැමෝම දන්නවා. නංගි මාව ඇදන් ගියා සර්පයා බලන්න. අඟල් 10 ක් විතර දිග පොඩි පොළොං පැටියෙක්. මේකව මම දඩි බඩි ගහලා සස්ටජන් ටින් එකක් ඇතුලට දාලා වහ ගත්තා. නංගි කියනවා ඕකට හුස්ම ගන්න බැරි වෙයිලු. අම්මා කියනවා - ඕකව ඔහොම වහලා තියන්නලු උදේ වෙනකන්. අම්මා මේකව මරන්න කියන්න බයයි. නමුත් වහලා තියන්නලු උදේ වෙනකන් බඩු පැකට් වෙන්න. තාත්ත ඉස්සර සරපයෙක් ආවොත් - කියන්නේ “විෂ ඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කියලා ,”- මරණවා. හැබැයි මේක දැකපු මම අවරුදු පහක් තරම් කුඩා කාලේ තාත්තව කොපි කලා. සරපයෙක් ආවොත් මමත් උන්දැව උදැල්ලක් අරන් එළව යවනවා. මේක දැකපු තාත්තා එදා ඉදන් සරපයි මරන්නේ නැහැ. “කැලේ සරපයි ඉන්නවා තමයි බන් …” කියලා කෝට්ටකින් විසි කරලා දානවා.
අම්මා දැන් ආයෙත් කිපිලා.” ඔච්චර දෙයක් වෙලා ඔය මිනිහානං ඇහැක් ඇරලා බලයි එකෙක් මලත් ...” . අම්මගේ හැඟීම වැරදිත් නැහැ - තාත්තා අනික් අයට වෙන දේවල් එච්චර සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ. එයාට ඒවා feel වෙන්නෙත් නැහැ. අම්මා තරම් කොහොමවත් තාත්තා කවුරුත් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ තමයි. නමුත් ඒකට චෝදනා කරලා දුර්වල වෙන්නෙත් අම්මා විතරයි. මොකද අම්මා ආයෙත් පාරක් අල්ලන් ඉන්නේ ද්වේෂ සහගත සිතුවිල්ලක්. තාත්තා එයාගේ ලෝකේ වෙන සිතුවිල්ලක.

No comments: