Translate

Saturday, March 28, 2015

2014 March 07 - පරණ දවස් වුනා මතක්



හවස හත පහුවුනා විතරයි. තකහනියක් පන්නලට නැවතුනේ ගෙදෙට්ට එන්න කලින් පාං ගෙඩි දෙකකුයි හොර්ලික්ස් පැකට් එකකුයි අරගන්න කියලා. දැයට කිරුලෙන් අලුත් වෙච්ච පන්නල නගරය මට එකපාරටම ගෙනාවේ අමුතු හැගීමක්. පාර පුරා තැන තැන සුද්දෝ. BMW Lexus වාහන කීපයකුත් Food City එක ඉස්සරහ. කුඹුරු ගොඩකරන් හදන නවීන පන්නයේ බොජුන්හලක චීස් කොත්තු සද්දේ නගරේ මැද්දටත්එනවා. කොත්තු කඩේ පුලුටු සුවදත් අසල බීර හලේ බීර සුවදත් එකට මුසුවෙලා පන්නල නගරය තාමත් හවස් වෙනකොට බේබද්දන්ගෙනුත් රැකියා අහවර වෙලා ගෙදර දුවන මිනිස්සුන්ගෙනුත් ඉස්සර මෙන් නැතත් තැන තැන රස්තියාදු ගහන එවුන්ගෙනුත් පිරිලා. වෙලක් මැද අලුතෙන් ඇරපු ආපන ශාලාව ඉස්සරහ නවීන පන්නයේ මොටර් රථ. විලාසිතාබර තරුණ තරුණියන් වෛවර්ණ පාට පාට කලිසන් ඇදන් කමින් බොමින් ප්‍රීති වෙනවා. එතනට එහා පැත්තේ ලයිට් දාපු මාලු වෙළඳ පලක්. මේ මෝටර් රථ අතරේ කරින් කර හැපෙමින් පිටිපස්සට ටේල්ලයිට් එකක් වත් නැති පාපැදි ඕන තරම්.
මේ වෙමින් පවතින විපර්‍යාසය සාමාන්‍ය ගැමි ජීවිතයක් ගත කරපු වැඩි හිටියෙක්ට නොතේරුනත් - කුමක්දෝ නුහුරු ඔරොත්තු නොදෙන ගතියක් ඔවුන් තුල දෘෂ්‍යමාන වෙන බවක් මට පෙනුනද මන්ද. දැන් පන්නල තරුණයෝ සරම් අදින්නේ නැහැනේ. පුට් සියිකල් පදින්නෙත් නැහැ. කුඹුරු වැඩ - ගොවිතැන් බත් කරන්නෙත් නැහැ. හැමෝම කර්මාන්තශාලා ආදියේ රැකියා කරන උදවිය. උදේට බස් එකක් පාර අයිනටම එනවා - හවසට කට්ටියම ගෙනත් දානවා. ඉතිං මට පේන්නේ නම් යුරෝපෙන් පටන් ගත්තු කාර්මික විප්ලවය හරියට 100% පන්නලට එන්න සියවස් ගනනාවක් ගිහින්. ඒක අපි මිදුලටම ගෙන්නගන්නකං නිම්හිම් නැති උද්යෝගයකින් තමයි අපි හැමෝම හිටියේ. හැම ගෙදරම වාහනයක් හැම ගෙදරම නානාප්‍රකාර යන්තර සූත්තර කොම්පුයුටර් හැම ගෙදරම පොඩිත්තෝ හොයන්නේ පොෂ් නම් තියෙන කෑම. චයිනීස් හැම් බේකන් බර්ගර් පීසා මැකරෝනි etc etc. බොරු පොස් නම් දාලා කංකුන් ටිකක් මරිස්කුඩු ටිකක් බත් වලට හරි නූඩ්ල්ස් වලට හරි දාලා - පාට කරපු සෝස් එක්ක චයිනීස් කන කට්ටිය රෑට පාරත් අවහිර කරන්. රෑට කඩෙන් කන අය නිසා හයෙන් පස්සේ මාර්ගතදබදය තමයි පොඩි අප්සෙට් එකකට තියෙන්නේ. ඉස්සර පයින් ගිහින් බස් එකේ නැගලා පන්නලට යන්න පැය භාගයයි. දැන් වාහනයක ගියත් වාහනේ වද්දගන්නේ නැතුව එන්න පැය භාගයයි. ඉස්සර කුඹුරු යායවල් දැන් අත ඇරලා - නැත්නම් ගොඩ කරලා. තිබ්බත් කුඹුරු වැඩ කරන්න කල් වකවානු ගැන කුඹුරු රස්සාව ගැන තරුණයෝ දන්නේ නැහැ. අවුරුදු 15 කට කලින් මග දෙපස තිබ්බ විශාල පොල් වතු නැති වෙලා - දොරින් දොරට යාවෙන ගෙවල්. හිදුනු පිං ළිං එහෙමත් නැතුව නෙමෙයි.
කවුරු කෙසේ දැක්කත් මේ සිදුවෙමින් පවතින භෞතික පරිවර්ථනය යථාර්ථයක්. ඒක හරිද වැරිදද කියන උහතෝකෝටිකයට උත්තරය සක්කරයත් දන්නේ නැතිව ඇති. කොහොම හරි මේ මාර්තු මාසෙනේ. නිකමට වගේ දංගොල්ල හන්දිය කිට්ටුව තියෙන පරණ කඩ පෙල තාමත් තියෙනවද කියලා ඉව කරල බැලුවා. මෙතන තමයි ඉස්සර ගමේ ගොවිතැන් කරපු උදවිය ගම්බිරිස් කජු කොප්පරා පුවක් වගේ දේවල් ගෙනත් අලෙවි කරන කඩන පෙල තිබ්බේ. තාම පරණ කඩමන්ඩිය තිබුනත් ගම්බිරිස් තැම්බුම් ගදයි පුවක් පල් ගදයි කොප්පරා තෙල් සුවද මේ තැනින් නම් ආවේ නැහැ. මට නිකං මතක් වුනා මගේ වසය අවුරුදු දහ හතර පහලොව කාලේ. ඉතිං ඒ කාලේ කුරුණෑගල මලියදේවයට පාසැල් යන ළමයි පන්නල කිට්ටුව හිටියේ දෙන්නෙක් තුන්දෙනෙක්. ඒ ඔක්කොම පන්නල ප්‍රභූ පැලැන්තියේ ධනවත් ළමයි. ගිරිඋල්ල පහුකරන් මුලින්ම school වෑන් එකක් ආවේ අපේ ගෙදරට. අම්මට එයාගේ ජීවිතේ දවසකට සැරයක් මතක් කරන විශේස ජයග්‍රහණයක් වුනා ඒක. කොහොමහරි ඒ කාලේ මේ වාහනේ වියදම ගෙවපුවාම තාත්තගේ පඩිය ඉවර වෙනවා. ඉතිං අපි කුරුණෑගල පාසැල් ගියාට ඇත්තටම බොහෝ විෂය කරුණු සැබෑවට ඉගෙනගත්තේනම් ගමේ ගුරු භවතුන්ගෙන්. විශේෂයෙන්ම චිත්‍රකලාව සිංහල සිංහල සාහිත්‍ය වාණිජ වැනි විෂයන් ගමේ ගුරු මහත්මීන් අපිට නොමිලේ ඉගැන්නුවේ තමුන්ගේම දරුවන් කියලා හිතාගෙන. මගේ මුල්ම චිත්‍ර ගුරුවරයා වෙච්චා සරත් මහත්තයා හැම පෝය දවසකම මට චිත්‍ර අදින්න කියලා දුන්නා අවුරුදු 5 ක් නොකඩවාම. එතුමාට අවශ්‍ය වුනේ මාව ගෘහ නිර්මාණශිල්පියෙක් කරන්නයි. මොරටුව කියන විශ්ව විද්යාලය ගැන මට මුලින්ම කියලා දුන්නෙත් ඒ ගැන ඇල්මක් ඇති කෙරෙව්වෙත් එතුමා තමයි. ඉතිං මගේ ජීවිතේ ඒ කාල පරිච්ඡේදය සවස හතරෙන් පසුවත් - සති අන්තයත් නිතරම ගෙවුනේ මේ අපූරු ගුරු ඇසුරේ සිල්ප සාස්තර ඉගෙන ගන්න තමයි.
මට තාම මතකයි එදා පංති ගිය විදිය. පාසැල අවසන් වෙලා ගෙදරට එනකොට හතර විතර වෙනවා. ඉතිං ඊට පස්සේ ගොඩක් දවස් වලට පුවක් ගෝනියක්, කජු ගෝනියක්, කොප්පරා ගෝනියක්, ගම්බිරිස් ගෝනියක් බයිසිකලේ පිටිපස්සේ තියන් - හරහට තියෙන පොල්ලේ අම්මවත් ඉන්දන් මම පන්නලට එනකන් හැතැම්ම දෙක කදු වල බැහැ බැහැ තමයි ගාටන්නේ. ඇත්තටම 2000 වර්ෂය ලබද්දිත් හවස හයෙන් පස්සේ පාරක මැස්සෙක් වත් නැති තරම්. දැන් මොහොතකට කලින් කියපු කඩ පෙලෙන් තමයි මේවා මුදල් කරගන්නේ. ජනවාරි පෙබරවාරී කියන්නේ පන්නලට තද පෑවිල්ල තියෙන මාස. පොල් අඩුයි. පොල් අඩුකාලේ කොප්පරා මිල හොදයි. හැබැයි කවදත් ගොවියට හොද මිලක් අස්වැන්නට ලැබුනේ ඉතාම කලාතුරකින් දවසක තමයි. ඒත් වතුර ගැලිල්ලක් ඉඩෝරයක් වගේ ආපු වෙලාවක විතරයි. ඉස්සර අපි පුවක් සුලභ කාලෙදි පුවක් කඩලා මඩේ දාලා තියනවා - පුවක් හිග කාලෙට තමයි පන්නලට ගේන්නේ. ඉතිං ඒ දවස්වල මට මතකයි කුරුණෑගල ඉස්කූල් වෑන් එකේ අය දකියි කියලා හරි බයෙන් තමයි මේ පුවක් ගොනී කොප්පරා ගොනී කජු ගොනී ගම්බිරිස් ගොනී බයිසිකලේ තියන් පදින්නේ. ඉතිං මේවා අලෙවි කරන් ගොඩක් වෙලාවට අම්මත් තියාගෙනම මම පදින්නේ ටියුෂන් පන්තියට. මොකද එතනට යනකොට ගොඩක් හවස් වෙලා. කලුවර වැටිලා තනියම බයිසිකලේ එනවට අම්මා හරිම බයයි. ඊට වඩා කොල්ලො එක්ක රැලේ යයි කියලා අම්මා බයයි. නමුත් අම්මා දාගෙන බයිසිකලේ පදින එක මට කරදරයක්.
අවුරුදු ගණනාවක් අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි පන්නලට ඉංග්‍රීසි පංති ගිය එක ගැන තාමත් මට තියෙන්නේ මිහිරි මතකයක්. මේ පන්තිය කරපු මිසුයි සර්රුයි මාරුවෙන් මාරුවට උගන්නනවා. සර් ඇවිල්ලා My Self ලියන්න කියලා ගිහාම මිසුත් ඇවිල්ලා My Self ලියන්න කියනවා. අන්තිමට දෙන්නා අතර ඉංග්‍රීසියෙන් පොඩි fight එකකුත් යනවා. සර්ට ඉංග්‍රීසි දැනුම අඩුයි. නමුත් සර්ටත් ඉංග්‍රීසි දැනුම තියෙනවා කියලා ළමයින්ට අගවන්න මිස් සර්ගෙන් බැරූරුම් ඉංග්‍රීසි වචන වල තේරුම් අහනවා. සර් දන්නවා වගේ ඇස් දෙක කරකෝලා පොඩ්ඩක් ඉන්න කියලා ගේ ඇතුලට ගිහින් ඩික්ෂනරියෙන් බලලා තේරුම කියනවා. මිස් පොෂ් කියලා හිතන් Dictionary එකට කියන්නේ ඩික් එක කියලා. කරූ අනේ " ඩික් එක දෙන්නකෝ, " ඒ තමයි මිස්ගේ දයාබර ආයචනය - දුෂ්කර ඉංග්‍රීසි වචන අභියස. අද නම් මේවා මතක් වෙද්දි දවසම හිනායනවා. ඉතිං දවසකට අලුත් ඉංග්‍රීසි වචන 10 ක් dictation දෙන්න ඕනේ. මේ පංතියට අපි ගියේ ඉංග්‍රීසි ඉගෙන ගන්න වඩා සෙල්ලම් කරන්න. ගෙදර ළමයිනුයි ඒ ගොල්ලන්ලේ මෙහෙකාරියයි ඔක්කොම ලෑස්තිවෙලා ඉන්නේ හැංගිමුත්තු කරන්න. සර්ටනම් වෙලාවට fees හම්බවුනාම ඇති. ගොඩක් වෙලාවට සර් කරන්නේ අපිව දාම් අදින්න සෙට් කරගන්න එක. ඒ වෙනකොට සර් ප්‍රචලිත වෙලා හිටියේ ඉංග්‍රීසි ගුරුවරයෙකුට වඩා දාම් සූරයෙක් විදියට. ගෙදර හිටපු පොඩිම එකාට අවුරුදු හතරයි. ඒක දන්න එකම සෙල්ලම තමයි පංති එන ළමයිගේ වතුර බෝතල්වලට හොරෙන් ගිහින් චූ කරන එක.
කොහොම කොහොම හරි මේ අතීතය සිහිය නැගෙනකොට ටවුමත් පහු කරන් ගෙදර කිට්ටු කරලා. ටවුම වෙනස් වෙනකොට මතකයන් අලුත් වුනා විතරයි ...

No comments: