මගේ කන්තෝරුවේ බෞද්ධයො බොහෝ වෙත්. ලංකාවේ කන්තොරුව හා සලකන කල ඕපාදූප කථාවන්ද හිතට හොරා කරන ව්‍යාජ ආකල්ප ධාර්මික කථාවන්ද ලිංගික කුහකත්වයෙන් දෙන පොර ටොක්ස්ද නැති තැන ස්ත්‍රී අඟ පසග පිලිබද කරන සමච්චල් සරාගී කතාවන්ද ප්‍රමෝෂන් පරමාර්ථයෙන් කෙරෙන රුවුම් ගෙරවුම් වීර කතාවන්ද අනෙකා නැති තැන විවේචන සමච්චලයට ලක්කිරීම්ද දන්න අදුනන පුද්ගලයින්ගේ පුද්ගලික වගතුක හාස්‍යට ලක්කිරීමද මෙහේ කෑම මේසය මතවත් අනෙක් හිත මිතුරු සාකච්ඡා තුලදීවත් බීර මේසය මතවත් සිදු නෙවෙයි. නමුත් ඒ දේ ඉන්දියානු හෝ ශ්‍රීලාංකික බෝජන සංග්‍රහයේදීනම් නොවරදවා නොමසුරුව සිදු වෙයි. මෙහි මා ඇසුරු කල බටහිර අයවලුන්ට ඔවුන්ගේ මනසට අනෙකා ගැන තොරතුරු වැදගැම්මකට නැති තරම්ම වෙයි. පුදුමයකට මෙන් බොහෝ දෙන මෙත් සිත් ඇත්තෝ වෙයි. නීතිගරුක වෙති. අවස්ථාවාදී නොවෙති. ලංකාවේ කන්තොරුවට වඩා මෙහි කන්තෝරු කාමරය තුල මේසය අභිමුව බුදු පිළිම වඩා හිදුවා තබාගෙන ගරු සරු කරන පිරිස බොහෝ වෙයි. ඔවුහු හදවතට අවංකව ධර්මයෙහි හැසිරෙන්න උත්සාහ කරති. ඒ අනූව ජීවිතය හැඩගැසීමට වෙර දරති. ඒතුලින් තමුන්ගේ ජීවිතයට සතුට ආලෝකය සැනසීම ලගාකරගැනීමට උත්සාහ දරති.
බුදු පිළිමයක් දකින කල - ලංකාවේ ඇතැම් සිංහල බෞද්ධයාත් ලොව බුදු දහම අදහන අනෙකුත් බෞද්ධයන්ගෙත් අතර හැසිරීමේ හා ආකල්ප වල වෙනසක් වෙයි. මට දැනෙන ලෙස බහුතර සිංහල බෞද්ධයා බුදුපිළිමයටත් බුද්ධාගමටත් ආත්මාර්ථකාමී අයිතියක් කියා පෑමට උත්සාහ කරයි. බොදු පිළිවෙත් රැකීම පසෙකලා ලොව බුදු හිමිට ලැබෙන ගෞරව ආදර සැලකුම් ගැන යටි සිතින් සිතා ඒ මතින් තමුන් බෞද්ධයෙකුයැයි කියමින් හෝ නොකියමින් ආඩම්බර වෙයි. ඔබාමා බෝ පැලයක් හිටවූ විට - බෝධිය සිටිවීමෙන් ලෝක සත්වයාට හෝ, සම්මත ආදර්ශයක් ලෙස හෝ, පොදු ජනයාට හෝ සිදුවන යහපත ගැන සිතමින් සතුටු වීමට වඩා, ඔන්න බලවත් චරිතයනුත් බෝ පැලයක් සිටුවා අපේ ගොඩට සෙට්වුනා යැයි කියන දුරුවල සිතුවිල්ලෙන් ආඩම්බරයක් ඇති කරගනිති. සිංහලයෙක් බෞද්ධයෙක් ලෙස ධර්මයට ශාසනයට අයිතිවාසිකම් කියා ලබන තාවකාලික ආඩම්බරයෙත් අබෞද්ධයෙක් බෞද්ධයෙක් වීමට උත්සාහ කිරීම තුල හා දහම පිළිබද ඇති වන ප්‍රබෝධයෙන් ලබන අවබෝධය මූලික ශාන්තියෙන් ලෝක සත්වයාට හිමිවන සතුට හා සැනසීමත් අහස පොළව මෙන් වෙනස් වෙයි.
රොකී කදු අතර සෙන් බෞද්ධ මධ්‍යස්ථාන හා හින්දු හාගමික පන්සල් කිහිපයක් වෙයි. මේවායේ සැබෑ භාවනායෝගීන් බොහොයි. ඔවුහු භාවනාවටත් හික්මීමටත් මුල් තැන දී ජීවිතයේ අවරභාගය හරවත් ලෙස අවසන් කිරීමට වෙහෙසෙති. මට දැනුනු සමහර අවස්ථාවල ආර්‍යඅෂ්ටාංගික මාර්ගය පටිඡ්ච සම්මුපාද ධර්ම වැනි නිවන කෙරෙහි යොමුවූ ධර්ම කරුණු හැර අනෙක් සංවර ආමිශ සිල්වත් බුදුදහම විසින් පින් යැයි සම්මත දේ කිරීමේදීත් ප්‍රායෝගික සමථ/සාමාධි භාවනාවේදීත් මේ පන්සල් ලංකාවේ 90% පන්සල් වලට වඩා ඉතාම ඉහල මට්ටමෙන් පවතී. විපස්සනා මධ්‍යස්ථාන නම් දැනට මා මෙහි දැක නැත. බොහෝ බටහිර බෞද්ධයෝ අපට වඩා සමථයේ හා විපස්සනාවේ වෙනස පිලිබද අධ්‍යනය කිරීමට උත්සාහ දරා ඇත - නමුත් නිවැරදිව දැන අසා ගැනීමට තරම් දැනුමක් ඇති සාස්තෘන් වහන්සේ අවාසනවාට මෙන් සපයාගැනීම දුලබය. ඇතැම් බෞද්ධ ආරාම වෙත බෞද්ධ භාවනාවේ හිනි පෙත්තට යාමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ කැපවීමේ අඩුවක් නිසා නොව ඒ ධර්ම ශිල්ප දැනුම ඇති උගත් සිල්වත් ශාස්තෘන් ගෙන්වා ගැනීමට සොයාගැනීමට ඇති දුලබ බව නිසාම බව මෙහි කරක් ගසන නිතරම වාගේ හිතෙයි. කෙසේ වෙතත් මා මගේ ගමේදී ලංකාවේදී කුඩාකල සිට ලැබූ තව දුරටත් ලැබීමට වාසනාවත් වූ ආරණ්‍ය වාසී ග්‍රාමවාසී විනයවත් ධර්මධර සංඝ ඇසුර මොවුනට අහිමිවීම අභාග්‍යයකි. ඔවුන්හට සැබෑ ධර්ම මාවත දෙසිය හැකි, භාෂා දැනුම ඇති ගුරු හිමි වහන්සේ නමක් ලැබෙන්නේ නම් - අපට වඩා බොහෝ මහත්පල ලබා ජාති ආගම් බේදයෙන් තොරව ලෝක සත්වයාගේ යහපතට - මට, අපට වඩා බොහෝ දේ කරණ බවනම් වැටහී හමාරයි. මෙහි සිටින ඇතමුන් සසර ගමන අවබෝධ කරගෙන ඇති ආකාරයත් ඉන් මිදීමට අදියරෙන් අදියර දරණ වෑයමත් - මතුපිට සිට බැලූ බැල්මට අපට නොපෙනෙන ගතියක් ඇත්තේ අපේ සිත අලෞකික දේට වඩා මේ රටවල ලෞකික දෙයට නිරන්තරයෙන් ගිජුවත් පක්ෂපාතීවත් බැලීමට ඇති කෑදර කම නිසාවෙන් යැයි මට හිතුනු අවස්ථාද ඇත.
ලංකාවේ ඇතැම් තරුණ දරුවන් විදේශ රටවලට පැමිණිවිට සිකුරාදා දින නාටිකාංගනාවන් ගණිකාවන් ඇසුරටත්, සමාජ ශාලා පාවිච්චියටත්, හරක් මස් පිසීමටත්, මත්පැන්පානයටත් මුලින්ම පෙළඹෙති. නැත්නම් ඔවුන්ගේ මිතුරන්ගෙන් කොන්වීම සාමාන්‍ය දෙයකි. ලංකාවේ මීට වසර 20 කට පෙර හා සැසදීමේදී විවාහ දෙදිරීම හා ලේඛනගත ලිංගාශ්‍රත රෝග ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් ඉහල යන දර්ෂක දෙකකි. පිටරටවල මෙන්ම නගරබදව මා ඇසුරු කරන බොහෝ සිංහල තරුණ තරුණියන්ට කුමරි බමසර කුමර බමසර රැකීම විහිලුවකි. දුර්වල කමකි. පිරිමිකමට නොපනත් කමකි. පතිකුල සම්බන්ධතා අභිබවා කිහිප දෙනෙක් ඇසුරු කිරීම යන බාල කර්තව්‍ය එකිනෙකා අවබෝධ කරගැනීම ආශාවන් අදුනාගැනීම හා ඊට ගරු කිරීම ලෙස කරුණු සකසා නිවැරදි සමාජ දැක්මක් ලෙස වැරදිව අර්ථ දක්වා සමාජ ගෞරවය දැකීමට කැමති මිතුරන් හිතවතුන් අප අතර බොහෝයි. ඔවුනට අනූව එක ගැහැණියෙකු පැතීම, එක මිනිහෙකු සමහ ජීවිත කාලයක් බැදීමෙන් ගත කිරීම ජීවිතය අහක දැමීමක්, නැත්නම් ආශාවන් මැරීමක්, සොබාදහමට එකඟ නොවන නොමිනිස් කමක් වෙයි. තරුණකල අත්හදා බැලීම - විදීම, Life එක enjoy කිරීම, success යන වචන අපේ සංස්කෘතියට අපි බටහිරින් ආදරයෙන් ගත් දේ මිසක් උන් දුන් දේ නම් නොවෙයි යන්න බටහිර මිතුරන් ඇසුරු කල බොහෝ දෙනාට වැටහෙන කාරණයකි. බොහෝ දෙන විවිධ හේතුමත විවාහයට පෙර පෙම්වතුන් පෙම් වතියන් කිහිප දෙනෙක් ඉතා සමීපව කායිකව ඇසුරු කරති. අද ආදර සම්බන්ධතා අප දෙමව්පියන්ගේ යුගයට වඩා ඉන්ද්‍රිය පිනවීමම මූලික කොට ගොඩනැගුන ඒවා බව අවංකව කරුණු විමසීමෙන් පෙනී යයි. එනම් සම්බන්ධතා තුල අධ්‍යාත්මයට හා ආදර සම්බන්ධතාවයක මූලික සමාජ හරය වන fidelity එකට අඩු ලංසුවක් තැබීම සිදුවේ. කෑදර කම කෑමෙන් අහවර නොවේ. එය සිතුවිලි පිරිසිදු කරගැනීමෙන් ආයාසයෙන් ගොඩනැගිය යුතු දෙයක් ලෙස නූතන සිංහල තරුණ කැල නොසිතයි. එසේ සිතීමට උගන්වන සාහිත්‍යක් චිත්‍රපටියක් පොතක් පතක් නවකතාවක් අද ලක්දිව විරල වෙයි.
කෑදර කම, හොද වචන වලින් කිව්වොත් විවිධ ලිංගික අත්දැකීම් ලැබීම ඉදිරි විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පිටිවහලක් යැයි ඇතමුන් තර්ක කරති. ජීවිතයේ යතාර්ථය ආධ්‍යාත්මය හගවා තරුණවිය රසවත් කිරීමට පොළඹවා ගැනීමට සමත් ධනයෙන් බලයෙන් යුතු පිරිසක් සිංහල ජාතිය හැඟීමේ හා ආශාවේ වහලුන් බවට දැනටත් පත් කර අවසන් බව අප පසක් කර ගත යුතු සත්‍යයකි. මෑතකදී කොළඹ නගරයතුල තරුණ තරුණියන් රැකියා කරණ ඇතැම් පුද්ගලික ව්‍යාපාර ආයතන වල වතුර නොබැහීමට කරුණ සෙවීමේදී අනාවරණය වූයේ හාස්‍ය ජනක කාරණයකි. එනම් උපත් පාලන කොපු කාණු හිරකරන මූලික හේතුවක් වී ඇති බවයි. අද රාජ්‍ය ආයතන තුල තත්වයද මීට නොදැවෙනි බව අපි අත්දැක ඇත්තෙමු. මෙය මීට වසර කිහිපයකට පැවති සිංහල සමාජයට සාපේක්ෂව දරුණු සමාජ කඩා වැටීමකි. යුද්ධයට වඩා බරපතල සමාජ ව්‍යසනයකි.
කොළඹ ලබන ඉහත අත්දැකීම් අතරින්ම පහු ගිය වසර කීපය තුල මම සෑම තෛපොංගල් සතියකම වාගේ නැත්නම් වසරකට කිහිප වරක් යාපනයේ සංචාරය කිරීමට භාග්‍යවන්ත වූයෙමි. යාපනය නගරය සවස 6 ට වසයි. එහි රෑ එළිවෙනකන් සුරාසැල් නැත. බොහෝ දෙනා සතියේ බොහෝ දවසක් එලවලු ආහාරයෙන් යැපෙයි. යාපනයේ කොල්ලෝ උගතුන් කවියන් රෑට නිතරම අයිස්ක්රීිම් කෑමට සෙට් වෙනවා දැක ඇත්තෙමි. මද්‍යසාරයට ස්ත්‍රී රතියට එහි උගත් බලවත් වැඩිහිටි සමාජය ඉඩ නොතියයි. එහි බිත්තර කඩා ආප්ප හදන කඩ කොත්තු කඩ මස් කඩ දැක්කේ නැති තරම්ම වෙයි.
එදා හෙලදිව ගැන රොබට් නොක්ස් ලියූ ආරට ඒ වචනයෙන්ම ඒ පරිවර්ථිත ආරෙන්ම එදා හෙලදිව පොත කියවා අවුරුදු පහළවක් ගත වෙනතැන මෙදා හෙළදිව ගැන මෙසේ කෙටිසටහනක් තැබීමට සිදුවීම සිංහලයෙක් ලෙස තැවීමට කරුණකි. සිංහලයා රැකීමටනම් බෞද්ධ පිළිම රැකීමට වඩා බෞද්ධ ආගමානුකූලව සිතුවිලි සකසාගෙන ධර්මානුකූලව ජීවත්විය යුතු බව අපේ නායකයන් දෙමව්පියන් දරුවන් තරුණ තරුණියන් අවබෝධකර ගත යුතු බව මගේ අත්දැකීමයි.
මේ ලිපිය ලියන මමද සම්පූර්ණයෙන් සාන්තුවරයෙක් නොවෙමි. මස් කෑම අඩු හෝ වැඩි ලෙස මමද කරමි. මස් නොකන අවස්තාද වෙයි. නමුත් මස් මරා නැති බවනම් ඇත්තකි. මධ්‍යසාරයද පානය කර ඇත්තෙමි - පානය කරමි. මිතුරන් සමගින් මධ්‍යසාරයෙන් සිහි විකල් වූ අවස්ථා නොතිබුනේද නොවෙයි. මධ්‍යසාරය සමග හිතත් ඇගත් දුර්වල වී කටත් බඩත් වැඩි වන බැවින්ම මා මද්‍යසාර භාවිතය පහු ගිය වසර 5 ඇතුලත ඉතාම අඩුලෙස කිරීමෙන් ලද වාසී හා සතුට බොහෝ වෙයි. ව්‍යාපාර සම්මන්ත්‍රණ රැකියා උත්සව සමාජශාලා මා ආකර්ෂණය නොකරන තරම් වෙයි. කල්‍යාණ මිත්‍රයින් බොහෝ විට තුරණු වියටත් ජීවිතයටත් ඉතාම අවශ්‍ය දෙයකි. ඔබ සැබෑම සතුටින් නෙවෙයිනම් හොද මිතුරන් ලංකරගැනීමෙන්ම ඔබ හොද මිතුරෙක් වීම තුලින්ම ඒ දුක තුනී වී යයි. එය වැරදි ඇසුරෙන් වැරදි වින්දනයෙන් උමතු ආශ්වාදයෙන් ඔබ මුදවයි. මිතුරන් අතින් බලන කල කුඩා කල සිටම ඉතාම හොද බුද්ධිමත් උගත් පරිත්‍යාගශිලී මිතුරන් රොත්තක් සිටීම ම ලද හැමදේටම වඩා උසස් භාග්‍යයක් යැයි මට නිතරම හිතෙයි. ඔවුන් මා වෙනුවෙන් කල සමහර දේට ඒ තරමට මට ප්‍රති උපකාර කිරීමට නොහැකිවීමම මෙවන් සටහනක් මිතුරු මුහුණු පොතේ දැමීමට මා දිරිමත් කරවයි.
ජය වේවා. !!!
No comments:
Post a Comment