Translate

Tuesday, March 31, 2015

2015 March 14 - අපරිපූර්ණ මිනිසුන් පරිපූර්ණ නායකයන් සදත්නම් !

කාලෙකට කලින් අපි හිතුවේ රනිල් කිසිම දැනුමක් නැති මහා මෝඩයෙක් පරිණත බවක් නැති මිනිහෙක් කියලා. ඒ තත්වයට මඩ ගහලා මිනිස්සු ඒ මනුස්සයා පත්කලා නැත්නම් නරක කාලය විසින් ඔහුගේ නොදැනුවත් පැත්ත දැනුවත් පැත්තට වඩා එළියට විවර කලා. අපිට තියෙන ආවේගශීලීත්වයට ප්‍රචණ්ඩත්වයට හුරු චරිත නායකයෝ කියලා හිතන මානසිකත්වය නිසා මේ මනුස්සයාට කාලයක් පුදුුම අප්‍රසන්නත්වයක් තිබ්බා - මොකද ගැම්මක් එන්න ටොක් එකක් දීගන්න බෑ නේ. ඒ කාලේ ඒත් එක්කම මිනිස්සු, මාධ්‍ය නිග්‍රහ කලා කටහඩ, හැසිරීම, දරුඵල නැති බව වගේ මාතෘකාවට සබ්බන්ධ අසම්බන්ධ හැම දේවල් අල්ලලා. අද අගමැතිතුමා විදියට පාර්ලිමේන්තුවේ කතාකරන දේවල් දැක්කාම හිතෙනවා මේ මනුස්සයා විතරයි නේද මේ පාර්ලිමේන්තුවේ පොතක් පතක් අමතර දෙයක් හොයපු කියවපු මනුස්සයෙක්ට ඉන්නේ කියලා. ඉස්සර නොදැකපු මෝරපු හා තැන්පත් ගතියක් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙත් පේනවා. දැන් දැන් හිටපු ජනාධිපතිතුමාගෙත් තැන්පත් කමක් පේනවා. අපි අපිට ගරහන එක නවත්තගත්තොත් හොදයි කියලා හිතනවා දේශපාලන මතවාද මොනවා වුනත්.
ලාභ පොලිටික්ස් ගේන විමල් වීරවංස,ඇස් බී දිසානායක, මර්වින් සිල්වා, නිශාන්ත මුතුහෙට්ටිගම, රාජිත සේනාරත්න, වැනි චරිත - දේශපාලන ප්‍රතිපත්ති සංවාදයට විවේචනයට ලක්කිරීම ඉක්මවා, පුද්ගලයාට මඩ ගසා ප්‍රතිවාදියා මායාකාරීව බොරුවෙන් හෝ ඇත්තෙන් අවඥාවට අවමානයට ගැරහීමට ලක්කර මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගත් චරිත විදියටයි න්‍යායානූකූලව වර්ගකරන්න වෙන්නේ. ඒ වගේ මිනිස්සුන්ට ඡන්දය දෙන්නත්, ඔවුන් නායකයෝ විදියට තොරන්නත් කොටසක් ලංකාවේ ඉන්නවා.

ලංකාවේ දේශපාලනයත් ඉන්දියාවේ ක්‍රිකට් වගේ. ගොඩක් අය ඒක ගැන කථාකරද්දිත් හරිම හැගීම් බරයි. ආවේගශීලියි. ආවේගශීලි හැගීම්බර තැන කොහොමද බුද්ධිය රදන්නේ ? එතන කොහොමද නිවැරදි තීරණ එන්නේ. ඒක හින්දාම අපේ වගේ රටවල් තාමත් ගැහි ගැහි සැනසීමක් හොයනවා.

2015 March 23 - කොහොමද මේ වෙනස කරන්නෙ ...


වෙනසක් කරන්න ඕනේ නම් අපි අනිවාර්යේයන් කැපකිරීම් කරන්න ඕනේ. ඒ කැප කිරීම් තියෙන්නේ සමහර වෙලාවට අපේ comfort zones වල. තරබාරු මිනිහා බඩ අඩුකරන්න ව්‍යායාම කරනවනම් දනිස් ගෙවෙනවා, අතපය ගෙවෙනවා විවිද ආබාධ මතු වෙනවා. ඒක උපතින්ම කඩවසම් සිරුරක් තිබ්බ කෙනෙක්ට වගේ පහසු නැහැ. තුවාල පෑරීම් අතපසුවීම් failures නැතුව කවදාකවත් යහපත් දෙයක් කරන්න බැහැ.පාර්ලිමේන්තුවේ ඉන්නේ බහුතරයක් හොරු වෙනවා කියන්නේ බලය තියෙන්නේ හොරු අතේ. හරිම ආසයි face book සංවාද වලට. මේ යන විදිය හොදයි. මිනිස්සුන්ට දැන්වත් තේරෙන්න ඕනේ හොරු තේරුවේ අපි කියලා. උන් නැතුව අපිට ජීවත් වෙන්න බැරි තරමට අපි උන් මත රැදිලා. එහෙම නැතුව හැගීම්බරව පාට පක්ෂ බල බල අරූ හොදයි මුට වඩා මූ හොදය උට වඩා කියලා හිතුවොත් අපි හැම දාම අපි විසින් රැලි හද හද ඒ පැත්තට මේ පැත්තට අපි විසින්ම දෝලනය කරවන රැළි මත පාවෙන ඔරුවක හබල ගිලිහිනු අසරණ තොටියෝ වෙනවා. මේ හැම විරෝධතාවයක්ම මුලින්ම කුණු වෙරළට දාවි කියලා හිතනවා මේ පාර ඡන්දෙදිවත්.
වෙනසක් වෙනුවෙන් බලාපොරොත්තු වුන ඒ වෙනස මහින්දගෙන් හෝ මෛත්රීිගෙන් කරගන්න හිතපු කාටවත් කැළඹෙන්න දෙයක් නැහැ. වාද කරන්නේ යහපත් රටක් හදන්නයි - යහපත් නායකයෙක් මතු කරගන්නයි. මහින්ද මහත්තයටත් වැරදි හදාගන්න කාලය ඕනේ. එයා අතින් නොදැන පිරිමැහිය නොහැකි වැරදි වුනා. නමුත් අපි අලුත් නායකයෝ හදන්න ඕනේ. ක්‍රිකට් ටීම් එක වගේ කට්ටිය රිටයර් වෙලා හොම්බෙන් යනකොට සමු අරන් මේ රට එක පුද්ගලයෙකුට හෝ පක්ෂයකට දෙන්න හොද නැහැ. අලුත් නායකයෝ අලුත් ක්‍රීඩකයෝ දක්ෂයින් හදන්න ඕනේ. නායකයොත් Replace කරන්න පුලුවන් වෙන්න ඕනේ. එතකොටයි මැච් දිනන්න පුලුවන්.
අපි මේ හදන්න හිතන්නේ කල්පවතින ශිෂ්ඨාචාරයක්. ඒක එක පරම්පරාවකින් ඉවර වෙන රටක් නෙමෙයි. එහෙම කල් පවතින ශිෂ්ඨාචාරයක් හදන්න පුලුවන් පුද්ගලයෙක්ගෙන් නෙමෙයි. Process එකකින්. මේ ක්‍රමවේදය හදන උපක්‍රමය, නැත්නම් මේ Strategy එක සංස්කෘතිය - නැත්නම් Culture එක මගින් කල්පවත්වන්නයි සුරකින්නයි ඕනේ. එතනදියි පුද්ගල අවබෝධය පුද්ගල ආකල්ප හා පුද්ගල අධ්‍යාපනය වැදගත් වෙන්නේ. කිසිම පාලකයෙක් කොච්චර හොද වුනත් එක දිගට ඉන්න ඕනේ නැහැ. එවිට ඔහු අන්තනෝමතික ආඥාදායකයෙක් වෙන එක නවත්වන්න බැහැ. පුද්ගලයා මත depend වන ශිෂ්ඨාචාර ඒ පුද්ගලායෙගෙන් පස්සේ විනාස වෙනවා. අනුරාධපුර යුගයෙන් පස්සේ අපිට කල් පැවතුනු සුරක්ෂිත ශිෂ්ඨාචාරයක් නැහැ. කලින් කලට නායකයෝ මතු වෙනවා - නායකයා ගිහාම වැඩේ කෙලවෙනවා. පහුගිය පරම්පරා නායකයෝ replacements හදන්නේ නැහැ. මහින්ද යනකොට next level නායකත්වය හැදුවේ නැහැ. Next level leadership එකක් රටක තියෙන්න ඕනේ. මෙච්චර කල් තාත්තගෙන් පුතාට නායකකම බූදල් කරනවා. හොරාගෙන් හොරාට නායක කම බූදල් කරනවා. තක්කඩියගෙන් තක්කඩියට. හැබැයි හොද මිනිහගෙන් හොද මිනිහට නායකකම කුහක කමින් දුරස් කරනවා.
වල් ඌරෝ කැකුණ තලපුවාහ හබන් කුකුළන්ට ගජ මගුල් කියනවානේ. කල දුටු කල ජේවීපී එක දැන්වත් වල ඉහගනියි කියලා හිතනවා. ඒක හොදයි. ජෙප්පෝ ටිකක් ඉන්නම ඕනේ ඇතුලේ. ශ්‍රී ලංකා කාරයද යූ ඇන්පී කාරයද කියන එකේ Fundamental Characteristic වෙනසක් නැහැ. ලුණු නැති කිරි බතුයි ලුණු නැති බෙරි බතුයි වගේ. කිරිබත් ලුණුමිරිස් එක්ක කාපූ එකා බෙරි බත් සම්බෝල එක්ක කණවා. ඒ කියන්නේ උයන්නේ අරගන්නේ හැමදාම පොලුයි හාලුයි මිරිසුයි ලුණුයි විතරයි. යහපාලනය හොදට විවේචනය වෙන්න ඕන. මිනිස්සු අවධානයෙන් ඉන්න තරමට නායකයින්ට තක්කඩිකම් කරලා පැවැත්මක් නෑ. ජෙප්පොන්ට තාමත් රටක් කරන්න තරම් පෞරෂය මෝරලා නෑ - නමුත් ඔවුන් මෝරාවී කියලයි හැමදාම හිතන්නේ. විවේචනය කරනවා වගේ නෑ වැඩක් කරන්න ගියාම. තාම ලංකාවේ මිනිස්සු බහුතරයක් ඔට්ටු වෙන්නේ - හා ඔය අරන් කලේ කියලා අනිකාට හිනාවෙන මානසිකත්වයෙන්. ඒක අපේ තාත්තලාගේ ක්‍රමය. අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඒකෙන් වෙනස් වෙලා - මම කලොත් මේ ගැටලුව කොහොමද කරන්නේ කියන තැන ඉදන් හිතලා ප්‍රායෝගිකව හිතන වාද කරන පිරිසක් මුහුණු පොත තුලින් මතු වෙනවා. මේ පිරිස අලුත් ශිෂ්ඨාචාරයට බීජ වපුරයි.
කරන හැම සංවාදයක්ම විසංවාදයක්ම තුලින් වඩාත් නිවැරදි පිළීතුර මතු කරගනීවි. දැං ඔය කලේ - අපි කලින් කිව්වා නේද, ඕකනේ අපි කිව්වේ බෑ කියලා - වගේ ආකල්ප ඇති මිනිස්සු කවාදාවක්වත් ශිෂ්ඨාචාරයක් හෝ සමාජයක් සාරවත් කරන්න දායක වෙලා නෑ. ඵලදායී වාද විවාද - නැත්නම් වෙනස් වෙනස් විකල්ප මත වාද හා විසදුම් ඇති පුද්ගලයෝ තමයි මේක වෙනස් කරන්නේ. අත අරින්න එපා. අපි පටන් ගත්තා විතරයි ...

2015 March 17 - නායකත්වය සිංහල ක්‍රමයට මෙසේයැයි එදා අලගියවන්න මුකවැටිතුමා පැදියෙන් profile කර ඇත ...


අස්සයෝ තප්පුලද්දි එළදෙන්නු බලං ඉන්නවා - බටහිර රටකදි ඇත්තටම දැකපු දෙයක් තමයි පිංතූරෙ තියෙන්නේ.

ඉතිං ජාතිය පාවලදීලා පිට රටක වැඩට ගියා කියමුකෝ. මව්බිමට ආදරය කරන අපේ නායකයින්ට මේ බිම තරම් ද්‍රෝහී බිමක් මේ ලෝකයේ කොහෙවත් නැහැ. බටහිරකරණයේ මහ ගෙදර කියලා දේශප්‍රේමීන් හදුන්වන මේ කුමන්ත්‍රණ කාරීන්ගේ තඩි විශාල දේශයට ලාංකික විරුවන් තමුන්ගේ නූගත් දුසිල්වත් දුවා දරුවන් බහුතරයක් යවන්න හදන්නේ උන්ගේ නරක ජීවන රටාවට දඩුවමක් දෙන්න - නැත්තනම් මග්ගොන දක්කනවා වගේ වැඩක් තමයි වෙන්නේ කියලා ඒ කාලේ අපි හිතුවේ. කෝකටත් මේ විරුවෝ රෑට රෑට ඒජන්සි කාරයෝ තානාපති කාර්‍යාල වටේ කැරකෙනකොට අපි හිතුවේ උන් එහෙම කරන්නේ විදේශවලින් එන විෂබිජ එන්න කලින් උපන්ගෙයිම මරලා දාන්න වෙන්න ඇති කියලා.

මව්බිම දැන් අමතක කරලා දාන්න කාලේ හරිනේ! ඉතිං ඒ අතර දැං ඉන්න රටේ දිනපතා පත්තර කාරියත් විපරම් කරලා බැලුවා. එක පැත්තකට එක පත්තරයක්. තවත් පැත්තකට තවත් පත්තරයක්. මුලින්ම හිතුවේ ලංකාදීප දිවයින වගේ පත්තර එකම පත්තරේ රට පුරාම ජනප්‍රිය ඇති කියලා. හපොයි දෙයියනේ - එක එක ජාතීන්ට එක එක බාසාවෙන් පත්තර. අනිවාර්‍යෙයන්ම මුන්ගේ බාසාවට ජාතියටනම් තර්ජන නම් ඇති. මේ ද්‍රෝහී කුමන්ත්‍රණකාරී දරුණු අපරාධකාරයින් ගහන සුවිසාල රටේ අපි ඉන්න පැත්ත පළාතේ තාම පොඩි ස්ත්‍රී දූෂණයක් ළමා අතවරයක් ගැන ආරංචියක්වත් නැති එක ගැන පුදුම වෙවී හිටියේ. නිකමට හිතෙන්න ගත්තා මෙහේ ඉන්න නායකයන්ගේ කිසි පෞරෂයක් නෑනේ කියලා. පොඩි එකෙක්ට උම්මා එකක්වත් දෙන්නේ නෑ - කැකුලක්වත් තලා ගන්න තරං පණ නැති උන්ද කොහෙද? ඊටත් වඩා ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරුවෝ අගලින් අගලට ඉන්නවායැයි ලාංකික දේශප්‍රේමීන් කියන රටක, ඒ රටේ ඉන්න හොදට නීරෝගීව ලස්සනට උසට මහතට ක්‍රියාශීලීව නිතරම මදහසින් ගතින් සිතින් ක්‍රියාවෙන් පිරිසිදුව පාංශුදේහදාරීව වැඩුන පන හීනවුන් ලංකාව මොකක්දැයි කියාවත් නොදන්නවා දැකල මුල්ම කාලේ වික්ෂිප්තයටත් භීතියටත් මහත් ලැජ්ජාවටත් පත් වෙන්න වුනා.

නිකමට වගේ මටත් ද්‍රේහී සිතුවිලි එන්න අරන්. නිතරම හිතෙන්න ගත්තා ලංකාවේ අපේ තිබ්බ වැදගත් දේ අපෙන් උදුරගන්නේ රට බේරගත්තු දේශප්‍රේමියෝ නේද කියලා.

දහම් පාසැල් යන කාලේ අපි කවි ඉගෙන ගත්තා. හැබැයි ඒ කවි ලියලා තිබුනේ කවුරු ගැනද? ඒවා ලිව්වේ කාටද? ඒවා පාවිච්චි කලේ කව්ද කියන එක සමාජයතුලින් හොයාගන්න බැරි වුනා.  ඒ කවි ඒ මොහෙතෙම වැඩක් නැති පල් හෑලි විදියට නැත්නම් සමාජයට නොගැලපෙන ප්‍රායෝගික බාවිතයට නුසුදුසු පුහු අදහස් කියලා හිතුනේ අපේ සමාජය අපේ ඇහින් දකිනකොටනේ!. අද නායකත්වය කියලා අපේ මව්බිමේ දරුපැටව් දකින්නේ TV එකේ යටි ගිරියෙන් කෑ ගහන එක, අනිත් එකාට හොදටම අල්ලන් තඩිබාන එක, තියෙන හැම තරඟයකදීම අනිත් එවුන් පරදවා ජය ගන්න එක, නැත්නම් හැම මොහොතෙම ප්‍රතිවිරුද්ධ එකෙක් හදාගෙන උට ඇර ඇර ජයග්‍රහණය ගැන උදම් අනමින් පොර වෙන එක.

ලංකාවේ සිංහල Leardership එක ඉස්සර Model කරපු වැදගත්ම කවි දෙකක් තමයි පල්ලෙහා සිංහලෙන් ලිව්වේ සුද්දොන්ට බලන්න කියලා - මොකද හැමෝම සිංහල කමයි මොනරවිල කැප්පෙටිපොළයි පොලේ දාලා තෙලේ බැදලා හැම හන්දියක් හන්දියක් ගානෙම ප්ලේන් එකට නගින තැනට යනකන් විකුණනනවා. Leadership ගැන බටහිර ක්‍රමයට උගන්නකොට Great Man, Contingency, Behavioral, Situational, Participative, Management අනං මනං කියලා - අනික් මිනිහාව emotionally රවටා තමන්ගේ වැඩය හා මතය ඉටු කරගැනීමේ ක්‍රමයක් උගන්නනවා. සිංහල Leadership qualities හරියට ප්‍රැක්ටිස් කරපු මෑත කාලින චරිතයක්නම් හොයාගන්න අමාරුයි. අර්ජුනයි සංගක්කාරයි දෙන්නා තමයි මට දැනිච්ච විදියට පල්ලෙහා සුභාෂිතය Model එකට මෑතකාලීනව ගොඩක් Fit වෙන්නේ Leaders ලා විදියට. Mr Crab කඩේ නොකලනම් 100% කියලා හිතුනා.
අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතල සුවඳැති සොද සදුන් කඳ
සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
ගජකුම් බිදින එකසර කෙසරිඳු බලැති
කෙතරම් සා වුවත් තණ කබල නුබුදිති
විහිගුම් ගුණෙන් යුතු උතුමෝ අබිමනැතී
................................................
(මතක නෑ)

දිවිහිම් කොටත් නොතරම්කම් නොම කරති කියලා දසයා මතක් කරලා දුන්නා

2015 March 9 - උදයා නිදහස් කරගැනීම උදෙසා ජනපතිතුමා හා අගමැතිතුමා වෙත යැවුනු ලිපිය

හිතවත් ගරු Maithripala Sirisena ජනාධිපතිතුමනි, Ranil Wickremesingheඅගමැති තුමනි,
ඔබ දැනටමත් දන්නවා ඇති මඩකලපුවේ සින්නතම්බි උදය ශ්‍රී නැමැති තරුණිය අප ලෝක උරුමයක් වන සීගිරිය කැටපත් පවුරේ - කිසියම් සටහනක් - මාධ්‍ය වාර්ථාකරන ලෙස ("Love U Uthaya") හෝ ඊට සමාන යමක් කුරුටුගෑමට ගොස්, බලධාරීන්ට අසුවී වරද පිළිගත්තාය. සමහරුන් පවසන ලෙස මාධ්‍ය ආදර පණිවිඩයක් ලිව්වායැයි වැරදියට තොරතුරු ප්‍රචාරය කර ඇත. සමහර තොරතුරු අනූව ඇය (T Uthaya) ලෙස ඇයගේත් ඇයගේ හිතවතියකගේත් නම ලියා ඇත. මෙහිදි ලිව්වේ කුමක්ද යන්න කිසිම වැදගැම්මකට නැති දෙයක් බව ඔබ මම අපි සැවොම දනිමු. කෙසේමුත් ඇය කුණුහරුප ලියා නැත. සීගිරි කැටපත් පවුරේ මෑතකාලීනව ගිය තරුණ පිරිස් නොයේක් සැබි අසැබි දේ ලියමින් පව්ර කැත කර ඇති අයුරු අපට ඕනෑ තරම් දැකිය හැක. නමුත් එය වරද දුටුවිට ක්‍රියාත්මක වීම වැලකීමට හේතුවක් නොවේ යන්න නීතිගරුක අප සැම එකඟ වෙන කරුණකි.
මේ සිද්ධිය පිටුපස මීට වඩා මානුෂීය යථාර්තයන්ද පැවතිය හැක. නූගත්කම භාෂා දැනුම නැතිකම හා දිළිදුභාවය ඒ අතර විය හැක. ඇතැම් වාර්ථා අනූව ඇය දඩය ගැන අසා එය රුපියල් ලක්ෂයකුත් වසරක සිරදඩුවමක් බව බලධාරීන්ගෙන් දැන බියට පත්ව - සීිගිරි ගලෙන් පැන සියදිවි නසා ගැනීමටද උත්සාහ කර ඇත. ඇයගේ පියා මියගොස් යැයි පවසන අතර මව කඩයප්පම් කරන දිළිදු කාන්තාවක් බවටත් වාර්ථා ඇත. කෙසේ හෝ අවසානයේ ඇයට අධිකරණයෙන් අවුරුදු දෙකක සිර දඩුවමක් දී ඇත.
ඒ එසේ කල කාරුණිකව කරුණු විමසා බැලීමේදී කරුණු ගණනාවක් ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ දරුවන් කුඩා කල - යුද්ධයට මැදිව, දරිද්‍රතාවයට මැදිව, සමාජ දැනුවත්කමකින් තොරව උගත් දැනුවත් සමාජයක දැක්මකින් ආකල්පයකින් තොරව හැදී වැඩී ඇත. එමෙන්ම ක්‍රමවත් කනිෂ්ඨ පාසැල් අධ්‍යාපනයක් ලැබීමටද බොහෝ විට කටයුතු සැලසී නැතුව ඇත. එසේම ඒ සදහා අවශ්‍ය මානසික හා භෞතික පරිසරය මීට වසර කිහිපයටකට පෙර මනම්පිටිි පාලමෙන් එපිට බොහෝ පෙදෙස්වල නොවූ බව පුලතිසිපුරවරයෙන් පහලවූ ජන නායකයෙක් වන ජනාධිපතිතුමාහටත් අත්දැකීමෙන් පොහොසත් අගමැතිතුමාටත් අමුතුවෙන් පැහැදිළි කලයුතු නැත. පසුගිය සමයේ ධෛර සම්පන්නව අපරිමිත කැපකිරීමෙන් දිවි පරදුවට තබා සටන් කල සෑම දෙනාහටම පින්සිදු වන්නට වල්වැදී ම්ලේච්ඡත්වය විසින් ගිලගනිමි්න් සිටි ඒ දරුවන්ට ඔවුන් සැගවී සිටි කැලෑ වලින් එළියට පැමිණ අලුත් ලෝකයක් දෙස බැලීමට අවස්ථාව විවර වී ඇත. අද ඔවුහු නිදහසේ රට වටා ඇවිදිති. පෙර නොදුටු අලුත් ලෝකයක් දකිති. එහි හැසිරිය යුතු විදිය සීමා මායිම් පිළිබද - ඔවුහු බොහෝ විට නොදැනුවත් වෙති.
මාධ්‍ය ඔස්සේ අපට මේ තරුණ දරුවාගේ පවුලේ මෙන්ම මවගේ විස්තර අසන්නට දකින්නට යෙදුනේය. සමහර විට දැනටමත් ඔබතුමා මේ සම්භන්ධව දැනුවත් වී ඇත. මේ වයසේ ගැහුණු ළමයෙක් ඔවැනි වරදකට දෙවසරක් හිරගතකිරීම නීතිය අතින් සාධාරණ වුවද මානුෂික අතින් ඇගේ පවුලේ පසුබිම ඇගේ අධ්‍යාපන මට්ටම හා සමාජ මට්ටම බලන කල ඉතාම අවසනාවන්ත සිදුවීමකි. නොදැනුවත් කමින්ම මේ දේ කලා යන්න සිතීමට ඇති සාධක බොහෝ වෙයි. මේ සිද්ධිය කියවීමේදි තවත් ප්‍රත්‍යක්ෂ වන කරුණක් නම් - ඇය වහා වරද පිළිගෙන ඇති බවයි. ධනය බලය දැනුම හා අඩුම තරමින් ගුරුහරු දීමට සමත් විශ්වාසවන්ත අසල්වැසි කාරුණික හිතවත් කිසිවෙකුත් හෝ ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේ නම් කෙසේ හෝ නිදහස වෙනුවෙන් යම් සටනක් කරන්නටත් ඇය හා ඇගේ හිතවතුන් පිරිස පෙළඹෙනු ඇත.ඔබ අප දන්නා පරිදි මෙවැනි දේට විරුද්ධ වෙන්නට නැත්නම් මෙවැනි අය වෙනුවෙන් ඉදිරිපත් වන පිරිස බොහෝ අල්ප වෙයි. ඔවුන්ගේ ඝෝෂාවද ඔවුන් කෙරෙහි සමාජ අවාධානය හා කාරුණිකත්වයද අල්ප වෙයි. දුෂ්චරිතවත් නිලියකට හෝ දූෂිත දේශපාලනඥයෙකුට ඇති මාධ්‍ය අවධිය මොවුන් වෙනුවෙන් නැති තරම් වෙයි. වාර්ථා වන ආකාරයට ඇය ඉතා දුප්පත් පැල්පත් වාසී මවකගේ දියණියකි.ඇය වෙනුවෙන් කතා කරන්නට ඇයගේ දුප්පත් කමද, ඇයගේ ආකර්ෂණීයත්වයේ දුබල කමද, ඇයගේ කර්මයද, ඇය වටා සිටින දිළිදු කුරිරු පුරුෂාධිපත්වයට යටවුනු නූගත් සමාජයේ් කුහකත්වයද බොහෝ විට ඉදිරිපත් නොවනු ඇත.
පහුගිය කාලය තුල විවිධ මිනී මැරුම් නඩු වලට සම්භන්ධ යැයි අධිකරණයෙන් වැරදකරුවන් කල - ඔබ අප සැම දන්නා ප්‍රසිද්ධ දූෂිත පුද්ගල චරිත සදහා විිවිධ හේතු යටතේ ජනාධිපති සමාව දීමට තීරණය කරන ලදී. නමුත් මට දැනෙනා ලෙසට මගේ නැගණියගේ වයසට ආසන්න වයසක ගතකරන මෙම දිළිදු තරුණියට කරුණු හොයා බලා ජනාධිපති සමාවක් දෙන්නට කටයුතු කිරීම ඔබ කෙරෙහිත් යහපාලනය කෙරෙහිත් විශ්වාසය තැබූ සාමය සමාදනය සමානාත්මතාව හා සමාව අගය කරන කාරුණික කවුරුත් ඉහලින්ම අගය කරන දෙයක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
ජනාධිපති තුමනි, අගමැතිතුමනි, ඔබටත් රටටත් ජය පතමින් නවතිමි.

2015 March 6 - ඖෂධ පනතක් ඕනේ ඇයි



ගොඩක් අය දන්නේ නැහැ ඖෂධ පනතක වැදගත්කම. මේ වගේ පනතක් නොතිබ්බොත් ලෝකේ වැඩිම මාර්ජින් එකක් සහිත වඩාම ලාභදායී ව්‍යාපාරය කියලා විරුදාවලිය ලද Pharmaceutical වෙළදාම ලංකාවේ පාරිබෝගික ජනතාව උපරිම විදියට හූරාගෙන කනවා. සේනක බිබිලේ මහත්තයාගේ වගේ අය ලෝක ප්‍රසිද්ධවුනේ ඇලපති වෛද්‍ය ක්‍රමය ආශ්‍රිතව ගොඩනැගී ඇති මේ වෙළද ජාලයට මනුස්සකම කියන දේ සාන්ද්‍රණය කරන්න ගිහින්. ඒ සටන නිසා එතුමාගේ ජීවිතයත් මේ වෙලදුන් විසින් උදුරගත්තයි කියලයි තවමත් ගොඩක් දෙනා කියන්නේ.

ගොඩක් බෙහෙත්වල තියෙන දුලබ බවත්, ඒ පිළිපද තාක්ෂණයේ රහසිගතබාවය හා විශේෂයෙන්ම බෙහෙත්වල ඇති කුණුහරුප සහගත හිතාමතාම පැටලිලි කරන ලද වෙළද නාමකරණය නිසාත් - බෙහෙත් වෙලෙන්දන්ට නැත්නම් ඖෂධ සමාගම් වලට හිතුමතේ මිලක් නියම කරන්නත් මිනිසුන් වෛද්‍යවරුන් නොමග යවන්නත් හැකියාව තියෙනවා. වෙන වචන වලින් කිව්වොත් එකම බෙහෙත විවිධ වෙළද නාම වලින් වෙනස් වෙනස් රසායනික සාන්ද්‍රණයන්ගෙන් Brand කරලා - මේ Brand name එකත් - මූලික ඖෂධ රසායනික නාමයත් අතර බෙහෙත නියම වෛද්‍යවරයාත් නොමග යවමින් - පාරිබෝගිකයාගේ සාක්කුවට රිදෙන්න දෙන්න ගොඩක් ඖෂධ සමාගම් දන්නවා. ලෝකේ පුරා බැලුවොත් එකම බෙහෙත විවිධ රසායනික නම් වලිනුත් වෙළද නම් වලිනුත් විවිධ මිල ගණන් යටතේ විකිණෙනවා. ඒ වගේම එක ලෙඩක සහනයට පාවිච්චි කරන්න පුලුවන් විවිධ බෙහෙත්වර්ග තියෙනවා. එකම බෙහෙත ලෙඩ කීපයකට සහනය දෙන අවස්ථාත් තියනවා. සහනය කියන්නේ එකක්. සුවය කියන්නේ තව එකක්. ගොඩක් බෙහෙත් කරන්නේ ශරීරයෙන්ම රෝගය සුවකරගන්න - ඒ සුව වීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න ශරීරය තුල අවශ්‍ය පරිසරය හදල දෙන එක.

හැමෝටම තේරෙන සරලම උදාහරණයක් තමයි - පැනඩෝල්. මේක පැරසිටමෝල් කියන generic නමින් හදුන්වන රසායනිකය - නැත්නම් N-acetyl-p-aminophenol කියන විද්‍යාත්මක නමින් හදුන්වන රසායනික සංයෝගය මනුෂ්‍යට දරන්න පුලුවන් මාත්‍රාවට හදපු බෙහෙතට ලංකාව එංගලන්තය ඕස්තේලියාව වගේ රටවල ප්‍රචලිත කරපු වෙළද නාමය. පැනඩෝල් වලට අමතරව ලොව පුරා Branded නම් 100 කට වැඩිය ඇති මේ එකම පැරසිටමෝල් කියන රසායනය විකුණන්න. මේ Paracetamol - මිනිස්සුන්ට සහනය දුන්නට බළලුන්ට, සරපයින්ට මාරාන්තිකයි. ඒ කියන්නේ බෙහෙතක තියන ගුණය හා හැකියාව සත්වයා, පුද්ගලයා මත වෙනස් වෙනවා.

ලංකාවේ හැමෝම සුද්දගේ GlaxoSmithKline පැනඩෝල් වැඩිමිලක් දීලා ආසාවෙන් බිව්වට රජයෙන් හදන SPC පැරසිටමෝල් බෝන්නේ නැහැ. ඇයි - බ්‍රෑන්ඩ් නෑනේ.එතනම පේනවා මේ සමාගම් මේ පෙති වල නිශ්පාදන පිරිවැයට වඩා ඉතාම වැඩි ලාභ ප්‍රතිශතයක් පෙත්තකින් අයකලත් කරුණු නොදත් පාරිබෝකියා ඒ සඳහා කැමැත්තෙන් පෙළඹෙන බව. මේ බේතටම අැමෙරිකාව, කැනඩාව වගේ රටවල ඇසිටෝමිනෝපින් acetaminophen කියලා කියනවා. ජොන්සන් හා ජොන්සන් කියන සමාගම මේ බේතම N-ace(tyl)-p-aminophe(nol) - ඒ රසායනයම සුලුවට වෙනස් මාත්‍රාවකින් Tylnol කියලා විකුණනවා. අනික් අතට හිසරදයට වේදනානාශක ලෙස Tylnol, Ibuprofen, Asprin යන තුනම ගන්න පුලුවන්. මේ තුන සමහර වෙලාවට එක එක රෝගියාට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් විදියට. ලංකාවේ Paracetamol (Tylnol) බාවිතය වැඩියි - සමහර රටවල Ibuprofen, භාවිතය වැඩියි, සමහරු Asprin වලට කැමතියි. කොයි බේතත් ඔලුවේ කැක්කුම අමතක කරනවා. එක සමාගමක් ඇස්ප්‍රින් නරකයි කියනකොට අනික paracetamol නරකයි කියනවා. මේ දෙකට අලුත් තාලේ විකල්පයක් කියලා Ibuprofen දෙනවා. වෛද්‍යවරු බෙහෙත් නියම කරන්නේ සම්මත - වෙලද වාර්ථා කියවලා මිසක්, ඒ ගොල්ලෝ මේවා කොහොම හදනවද කියන එක ඇත්තටම දන්නේ නැහැ. මේවා එක එක විදියට ජනතාවට මේ රටවලත් ප්‍රචාරය කරනවා - තමුන්ට හිතු මතේ මිල ගණන් දානවා. මොකද බහුතර දේශපාලකයන්ට පොදු ජනතාවට මේ ගැන හැගීමක් දැනීමක් නැහැ. ඔවුන් විද්‍යාඥයෝ නොවෙයි. සාමාන්‍යෙයෙන් බොහෝ රටවල නීතිය තමයි generic නමින් වෛද්‍ය වරයා විසින් ඖෂධ නියම කිරීම. Generic නමින් ලියපු මේ තුණ්ඩුව අරන් Pharmacy එකට ගියාම ගන්න බේත් ඕනෙ තරම්. Pharmacy වෙළෙන්දා තමුන්ට වැඩි ලාභ දෙන එක වැඩිපුර විකුණනවා.

වෛද්‍යවරු හම්බ වෙන්න ගොඩක් Medical Rep ලා එනවා. ඒගොල්ලෝ වෛද්‍යවරුන්ට හිතන්න බැරි තරම් වටිනා තෑගිත් දීලා බලාපොරොත්තු වෙනවා ඒ ගොල්ලන්ගේ වෙළද නාමය ලෙඩාගේ බේත් සීට්ටුවේ ලියවා ගන්න. මම දන්නේ නැහැ ලංකාවේ කලින් නීතියක් තිබ්බද කියලා ඖෂධවල Generic නම විතරක් prescribe කල යුතුයි කියලා. මම දැකලා තියෙනවා බේත් සීට්ටු වල Band Names ලියලා දෙනවා Pharmacy එකෙන් ගන්න කියලා. සමහර ලාභ අඩු බෙහෙත් විකුණලා පොඩි Pharmacy කාරයන්ට වැඩකුත් නැහැ. ඉතිං දොස්තර මහත්තුරුන්ට තියෙන එක ඇරෙන්න වෙන ලියන්න එකකුත් නැහැ. එංගලන්තේ නීතිය නම් Brand හෝ වේවා Generic හෝ වේවා සමාන Quality එකින් ඖෂධ තිබිය යුතු බව. ඇමෙරිකාවේ generic නමක් නැතිනම් පමණක් Brand නම ලිවීම ක්‍රමයයි.

කෙසේ නමුත් මේ Pharmacy මාෆියාවෙන් නොදැනුවත් අසරණ ඔබ අප වැනි රෝගින් බේරගන්න සේනක බිබිලේ මහාචාර්‍යතුමා හදුන්වලා දුන්න ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නැමැති ක්‍රමවේදය මුලු ලෝකයක් ආකර්ශනය කරගත්තා. එතුමාගේ මූලෝපායික උපක්‍රමයන් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකයේ දියුණු නොදියුණු රටවලුත් ප්‍රායෝගික භාවිතයට යෙදෙව්වා කියලයි කියන්නේ. කෙසේ වුනත් අහල තියෙන විදියට 1960 ගණන්වල ඉදන් මහාචාර්‍ය බිබිලේ මහත්තයාගේ සිහිනයක් වෙච්ච මේ ජාතික ඔෟෂධ ප්‍රතිපත්තියට අදාල සංකල්ප 1971 බිබිලේ වික්‍රමසිංහ වාර්ථාවෙනුත් 1980 COSMETICS, DEVICES AND DRUGS act එක, 1984 අන්තරායාකාර ඖෂධ පනත වගේ පනත් වලිනුත් හරියට සම්පූර්ණ කරගන්න බැරිවුනා. හැම රජයකින්ම කැබිනට් එක තුලදි මේ යෝජනා අදුෂ්‍යමාන බලවේග ඇවිත් හංගලා ගියාලු. අන්තිමට අද මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා. පල්ලෙහා Link එකේ අමුණලා තියෙන්නේ 2006 ජූලි 27 වෙනිදා කියන දවසක කැබිනට්ටුව හමුවට ආවයි කියන වාර්ථාව. අද 2015 පෙබරවාරි 6 වෙනිදා. ජාතිය වෙනුවෙන් කියලා අපි හදපු නායකයෝ - 1977 බිබිලේ මහත්මයා නැති වෙච්ච දවසේ ඉදන් අවුරුදු 38 ක් අරන් ඔහු එදා යහපත් යැයි කියපු යෝජනා ලංකාවේ පාර්ලිමෙන්තුවේ සම්මත කරන්න. ඉතිං සොභිත හාමුදුරුවෝ ප්‍රමුඛ සිරිසේන මහත්තයටත් යහපාලනයත් ඇතුලු පිරිසට මේ සම්බන්ධයෙන් අගය කිරීම් හිමිවන අතර අපිට හිතන්නත් යමක් තියෙනවා. ඒ තමයි පහුගිය කාලේ පුරාවට අපි වෙනුවෙන් අපි කියලා දාගන්න ගොඩක් නායකයෝ කරන්නේ මොකක්ද කියන එක.

ජාතියක් විදයට දක්ෂයෝ - උදා : කුමාර සංගක්කාර වගේ අය පාර්ලිමෙන්තු එනවා කිව්වාත් අපි කියනවා අපෝ් දේශපාලනයට නම් එන්න එපයි කියලා. මොකද අපි බයයි අපි ආදරය කරන අපිට වඩා දක්ෂ සමත්කම් ඇති කෙනෙක් අපිට වෙනස් මතයක් දරලා අපිට යහපත් රටක් හදනවට. ඉතිං අපි කැමති හොරු තක්කඩි ගොං ටෝක් කාරයෝ කුඩු කාරයෝ අපේ නායකයෝ කරන් අපි කැමති දේ කරනවට. අලුත් පාර්ලිමේන්තුවක් හදන දවසට හෙලුවෙන් කාමයෙන් නටන නලු නිලුයෝ කුඩු කාරයෝ ගංජාකාරයෝ රත්තරන් කඩන්නෝ අරක්කු පෙරන්නෝ විබහග අසමතුන් විවිධ වංචාකාර අසමතුන්ට බලය නොදෙන එක බුද්ධිමත් ඡන්දදායකයාගේ වගකීමක්.

2015 March 3 - මූණ වැහෙන හෙල්මට්



සිරාවට - මූණ වැහෙන්නේ නැති හෙල්මට් මෙලෝ වැඩකට නැහැ. කාර් ගන්න සල්ලි තියෙනවනම් කොල්ලෝ බයික් ගන්නේ නැහැ. මේ හෙල්මට් එක හින්ද මම බේරිලා තියෙනවා - හොම්බ කැඩෙන්නේ නැතුව - කැබිතිගොල්ලෑව CTB බස් කාරයෙක් මාව පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා බතලේගොඩදි. මායි බයිසිකලෙයි අඩි ගාණක් විසි වෙලා ගියා. හොම්බ ගිහින් බයිසිකලේ ඉස්සරහම ඇණුනා. මූන බේරුණා. තව පාරක් බයිසිකලේ හැප්පිලා මාස දෙකක් ඉස්පිරිතාලේ - දැඩි සත්කාරේ. ඔලුවයි මූණයි එදා බේරුණා. බයිසිකල් වල හැප්පෙන නිසාම මැරෙන්න බයට කාර් එකක් ගත්තේ - ඒකට ස
ෑහෙන කාලයක් මහන්සි වෙන්න වුනා ලංකාවේ සාපේක්ෂව වැඩි පඩි ලබන software ඉංජිනේරුවෙක් වෙලත්. මුන්ට නිකමට හිතන්න බෑ හැම කොල්ලටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බෑ කියලා. බිස්නස් කාරයෝ වෙන්න බෑ. රටේ හරි හමන් පොදු ප්‍රවාහනයක් ඇත්තෙත් නෑ. පාරට ගියොත් බස් එකක් නෑ. කෝචිචියක වැඩ ඇරිලා යන්න පුලුවන්ද? දුප්පත් අලුතින් ගොඩනැගෙන කොල්ලෙක්ට ගොඩ යන්න ක්‍රමයක් මගේ රටේ අවාසනාවන්ත එවුන් දෙන්නේම නෑ. තක්කඩින්ට වසලයන්ට දේශපාලුවන්ට කප්පන්කාරයන්ට තමයි හැමදේම. මූන වැහෙන හෙල්මට් ආරක්ෂාකාරීයි. ලංකාවේ මෝඩ පක්කු මචං ඉන්නේ. මේ රටේ එවුන්ට හරි දේ මොකක්ද කියලා හිතන්න බැරි තරමට මොඩයි. පිස්සු හැදෙනවා ජීවත් වෙන්න ගියාම. හරිම ගොං කාලකණ්නි වැඩක් මේක.

2015 February 19 - බලමු දැන් යහපාලනේ දින 100



මහින්ද මහත්තයාගේ වැලේ තියෙන යට ඇදුම් ගානයි, කක්කුස්සියේ තියෙන TV ගානයි, තාප්පේ ගහගත්තු මල් පෝච්චි බලන්නයි, ITN එකේ ආදර දිනේට පුවත් මැදිරියේ රෝස මල් මාරු කරන්නයි නෙමෙයි අපි ඔක්කොම අමාරුවෙන් මේ යහපාලනය හදාගත්තේ. පරණ අඩුපාඩු අලුත් අය කරන්න ඕනේ නැහැ. ඇත්ත - ගොඩක් හොද දේවල් වෙනවා. ඒ වගේම කල් ගත වෙන්න වෙන්න නිවැරදි විය යුතු තැනුත් එළියට පේනව. නීතිය අතින් විය යුතු දේවල් නීතිය බලා ගනීවි. නමුත් අපි අමාරුවෙන් හදාගත්තු යහපාලනේ Anura Kumara Dissanayake Ranil Wickremesinghe Progress Review of Maithripala Sirisena’s 100 Day Work Programme Maithripala Sirisena Harin FernandoSarath Fonseka -Next Sri Lankan President Patali Champika RanawakaArjuna Ranatunga Hirunika Premachandra Sujeewa Senasingheවගේ පිළිගත් නායකයන්ගෙන් අපි දැන ගන්න ඕනේ ඔබතුමාලා දැන් මොකද කරන්නේ කියලා. ආසයි දැනගන්න
1) Audit Bill
2) Information Act
3) National Drug Policy
4) Constitutional Council
5) New Election Laws
6) Amendments to change the system of elections
ආදියේ Progress එක මොකක්ද කියලා.

වඩා වැදගත් - එකඟවූ ලෙස යෝජිත Process/System changes ප්‍රායෝගික කරන් ඒ තුලින් අපි බලාපොරොත්තු වෙච්ච, කතා වෙච්ච, වාද විවාද කරපු අලුත් රට හදාගන්න එක. ලංකාවේ නීතිය 100% දේශපාලන අතගැසීම් හිතමිතුරු කම් වලින් ස්වාධීන කලොත් ඉබේම අපරාධ කාරයන්ට දඩුවම් හම්බ වෙන එක නවත්වන්න බැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම පත්කරපු දේශපාලකයගේ වගකීමක් නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය, උසාවිය ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන සතු වගකීමක් වෙන්නයි ඕනේ. ඒක එහෙම නොවෙනවනම් - එසේ නොවීම පිළිබද පාර්ලිමෙන්තු මැදිහත්වීමයි ඇත්තටම වෙන්න ඕනේ.අපි එතෙන්ට යන්නයි අරගල කලේ. ඉතිං කොහොම හරි අද දේශපාලන නායකයන්ගේ ප්‍රධාන වගකීම වියයුත්තේ අපි දින 100ට හදාගත්තු ඉලක්ක ටික සම්පූර්ණ කරගන්න එක. මේක හැමෝගෙම සාමූහික වගකීමක් මිසක් එකිනෙකාට ඇගිලි දික් කරමින් කාටවත් මග අරින් බැරි දෙයක්.