Translate

Friday, March 27, 2015

2013 August 2 - රතුපස්වල රණ විරුවන්



ලංකාවේ සෙවනැලි අතර හැංගි හැංගි දුවන, විටින් විට එළියට එන අදූරදර්ශි මිලේච්ඡ දේශපාලන සංකෘතිය ගැන කවදවත් අපි කතාකරන්න බයයි. යුද්ධෙන් පස්සේ අපි හිතුවේ අපි අසීමිත නිදහසකට හිමිකම් කියන සාමකාමී මාවතකට වැටෙනවා කියලා. ලේ මිනීමැරුම් කොල්ලකෑමි වලින් පිරුණු වකවානු ආයේ කවදාවක්වත් දකින්නේ නැති වෙයි කියලා. ඉතිං කාලෙකට කලින් භූමිතෙල් වැඩි කලා කියලා මිනිස්සු කෑ ගැහැවා. උද්ඝෝෂනයෙදි වෙඩි වැදිලා තාත්තා කෙනෙක් මලා. ඊට පස්සේ දුප්පත් මිනිස්සුන්ගේ EPF එකට ජිල්මාට් කරන්න හැදුවා. මාසෙකට රුපියල් 15000 ක් ගන්නෙත් නැති කොල්ලෝ විරුද්ධව කෑ ගැහැවා. උද්ඝොෂණය දරුණු වෙනකොට කොල්ලොන්ට වෙඩි වැදුනා. අද - මිනිස්සු කෑ ගැහුවේ වතුර බොන්න විදියක් නැතුව. ගොඩක් අය නොදන්නවා වුනාට මේ ජරා වතුර බීපුවාම පරිහරණය කරපුවාම ඒවගේ වැඩිපුරම විපාක විඳින්නේ දරුවෝ. විශේෂයෙන්ම නූපන් කුසතුල සිටින දරුවන් හා ළදරුවන්. එකම රටේ එකට ජීවත්වෙන තමුන්ගේ ජාතිය ගැන පුදුමාකාර විදියට කැක්කුමකින් කතාකරන වාසනාවන්ත දරුවෝ පිරිසක් කොනකට වෙලා අද මේ රෑත් රගර් ගහනකොට ක්‍රිකට් ගහනකොට ඒ ජාතියෙම අපේම මිනිස්සු ටිකක් තමුන්ගේ ගමේ පාරම්පරිකව බුක්තිවිදපු ළිං වතුර ටික බීගන්න බැරි තැන - දෙමව්පියෝ කෑ ගැහුවේ මේ අයට වතුර ටිකක් හොයාගන්න. තමුන්ගේ ළිඳට ගලන භූගත ඇසිඩ් පාර නවත්තගන්න. ඇත්තටම මේක ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් හෝ කැරැල්ලක් වුනේ නැහැ. ඔය කෑගහපු උදවියම තමයි ඔය පැත්තට තමුන්ගේයි කියල අහවල් දේශපාලන පක්ෂයේ කියලා - තමන්ගේම පිනට පහල වෙලා කියලා ඔය නායකයෝම පත් කරගත්තේ. ඒ නායකයන්ගේ දරුවෝ මේ රටේ වතුර බොන්නේ නැහැ. ඒ නායකයන්ගේ දරුවෝ බස් වල යන්නේ නැහැ. මෙහෙ බැයිනම් - හදෙනුත් වතුර ගෙන්න ගනියි. හැබැයි ගමේ අහිංසක මිනිස්සු, පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බා කිය කියා කියද්දි, මැරිලා වැටෙන්න වෙඩි තියන්න තරම් හිතට හයියක් කොහොම ගත්තද කියල හිතා ගන්නත් බැහැ.
ලංකාවේ නීතියක් තියෙනවා. අවම බලය පාවිච්චි කරන්නේ මුලින්ම පොලිසිය කැඳවලා කැරලි මර්ධන කණ්ඩායම් ගෙන්නලා. බලය පාවිච්චි කරන්නේ කොහොමද ඒකට සුදුසු අවස්ථා මොනවද කොච්චර ඉවසීමක් තියෙන්න ඕනැද - කොපමණ දරාගැනීමේ හැකියාවක් හා පරිනත බවක් තියෙන්න ඕනෙද කියන එක දන්නේ නිසි අභ්‍යාස හා පුහුණුවක් ලබපු, බුද්ධියක් හා සන්යමයකින් යුත් සුදුසුකම් ලද පුද්ගලයන්. නිරායුධ මිනිස්සුන්ට වෙඩි තැබීමෙන් වෙන්නේ ලංකාවේ මෙච්චර දවසක් වීරත්වයෙන් ප්‍රෟඩත්වයෙන් සලකපු ප්‍රතිරූප කෙලෙසෙන එක පමණයි. මෙවැනි අවස්ථාවන්ට මුහුණදීම පිළිබඳ නිසි ක්‍රමාණුකූල වෘත්තීය පුහුණුවක් ලබපු වෘත්තීය පොලිසියක් පිරිසක් සිටිද්දි - හමුදාව ගෙන්නුවේ ඇයි කියලනම් තේරෙන්නේ නැහැ. කෞටිල්‍යගේ අර්ථ සාස්ත්‍රය ගැන පොතේ තියෙනවලු එක උපක්‍රමයක් - ඒක තමා විරෝධයක් පාලනය කරන්න සිංහලෙන් කියනවනම් දැනෙන්න දෙයක් දෙන්න කියලා. එතකොට මිනිස්සු බයට ඉන් මත්තට විරෝධතා නොපා ඉන්නවලු. ඉතිං තවත් එක් අවාසනාවන්ත මරණයක් මේ විදියට සිද්ධ වෙද්දි - අපි කියන්නේ නැහැ ආණ්ඩු පෙරලන්න කියලා. මේවගේ අවාසනාවන්ත වැඩ නැවත නැවත සිද්ධවෙන එක නවත්තන්න කටයුතු කරන්න කියන අහිංසක ආයාචනය විතරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. හමුදාවක් මැදිහත් වෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන තැනකදි විතරයි. අපේ සමහර තනතුරු දරණ උදවියට යුදමය මානසිකත්වයෙන් දැන් ඉවත් වෙන්න කාලේ ඇවිත්. අපි ප්‍රජාතාන්ත වාදී රටක්. අපි එතෙන්ට ආවේ වංගෙඩි වලින් දාලා කොටපු, බලයට සහොදරයට පිහියෙන් ඇනපු, පුතා තාත්තාව මරපු, මිනිස්සු උලතියපු, ගස්වල එල්ලලා ඉරපු, ටයර් සෑයවල් හා ධර්මචක්‍රයන් පිරිච්ච අතීතයක් පහු කරන්. අපි ආපහු එතෙන්ට යන්න කාටවත් අවශ්‍ය නැහැ. මේ තනතුරු - බලය, ඉන්නකල් තියාගන්න හිතාගෙන දරුණු දරදඩු හිතකින්, තම ඒකමතික මතයම නිතරම නිවැරදියි කියන වැරදි විශ්වාසයෙන් සැම කාරණයකටම කටයුතු කලොත් වෙන්නේ මේ රටේ මිනිස්සු මෙච්චරකල් යම් හෝ මානුෂික දියුණුවක් සැනසීමක් ලැබුවනම් - ඒක ආපහු හැරෙන එක. දන්නවනේ ආකිමිඩිස් ගෙන්නන්න කියලා නූගත් නොහික්මුනු උද්ධච්ඡ යුධ භටයෙක් යවලා වෙච්ච දේ

No comments: