Translate

Friday, March 27, 2015

2013 May 20 - ජීවනකුසලතා !




අපිට ඉස්සර ඉගැන්නුවා ජීවන කුසලතා කියලා විශයක්. මේකට ඉගැන්නුවේ ලියුම් කවරයක් හදන්න, ඇඩප්ටර් එකකට වයර් කෑලි අමුණන්න, කොල කපලා ලියුම් රදවනයක් හදන්න, වගේ මේ ලෝකේ මෙලෝ යකෙකුට අයාසයකින් තොරව ඉගෙන ගන්න පුලුවන් විකාර දේවල්. මේක එක උදාහරණයක් විතරයි ලංකාවේ අද්‍යාපන ක්‍රමයේ පවතින ප්‍රායොගික හා උපයෝගී නොවන බවට ගත හැකි. ඇත්තටම පාසැල් කාලයෙන් විශාල කොටසක් ගතවෙන්නේ මේ වගේ වැදගත් නොවන ජීවිතයට කිසිදින උපකාරී නොවන දේවල් වලටද කියලත් වෙලාවකට හිතෙනවා.
කොහොම වුනත් ජීවන කුසලතා පාසැලේදී ඉගැන්වීමනම් ඉතා හොද අදහසක්. මොකද ගොඩක් කුසලතා පවුල තුලින්ම පමණක් දරුවෙක්ට ලැබෙන්නේ නැහැ. හොදම උගත් යහපත් ආර්තිකයක් ඇති පවුලක වුනත් දෙමව්පියන් සතු ආකල්ප හා දක්ෂතා වෙනස්. ඔවුන් විසින් දකින වටිනාකම් වෙනස්. සමහර දෙමවුපියන්ට දරුවො හැදුනත් එකයි නැතත් එකයි. රටක් ලෙස අද්‍යාපන ක්‍රමයක් ගොඩනගන්නේ යහපත් බුද්ධිමත් කුසලතා පිරි සතුටින් සිටින නිරෝගී අනාගත පරම්පරාවක් ගොඩනගන්න කියල හැමෝම කියනවනේ. ඉතිං දෙමව්පියෝ මතම දරුවන්ගේ ජීවන කුසලතා රදවලා තිබ්බොත් මොනවගේ අයද හැදෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැ - පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු දිහා බලපුවාම පේනව. ඉතිං මේ රටේ අද්‍යාපන ප්‍රතිපත්ති සකසන උදවිය සැබෑ ජීවන කුසලතා කියන්නේ මොනවද කියල අදුනගන්න තරම් මෝරපු බුද්ධියක් තියෙන උදවිය වුනොත් විතරයි අපිට මේ කියන අභියෝගය ඇත්තටම දිනන්න වෙන්නේ.

ලංකාව වටේට මුහුද - හතරදිග් බාගේ වලවල් වැව් අමුණු. අපි කීදෙනෙක්ට මීටර් 10 ක් පීනගන්න පුලුවන්ද කියල හිතන්න. පැයක් දෙකක් නෙමෙයි විනාඩි 10 බේරගන්න එනකන් මුහුදෙ ජබුගගහවත් ඉන්න දන්න එක්කෙනෙක් ඉන්නවනං හොයාගන්නේ වෙන්නේ හරිම අල්පවයි. අපේ සාක්ෂරතාව 100% කොම්පියුටර් දැනුම 100% AL – world rank ලු. හැබැයි මේ පණ්ඩිතයොන්ට ඒ දණ්ඩෙනම් යා ගන්න අමාරුයි වගේ. මේ අදක්ෂතා නිසා නාවික හමුදාවේ රණ විරුවගේ ඉදන් ගඟ ලඟ දඟයට එනකන් විවිධ තරාතිරමේ උදවිය දවසකට බර ගානක් ගිලිලා මැරෙනවා - උදව්වක්වත් දීගන්න කවුරුවක්වත් සිල්පෙ දන්නේ නැහැ. අන්තිමට අඩි හතරට ගිලිච්ච අය හොයන්නත් නාවික හමුදා කිමිදුම් සූරයො අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙයක් තමයි - communication Skills කියන එක. ගැහැණු පිරිමි අතර පවතින ආකල්ප පරතරය, ගරු සරු ඇතුව කතා කරන ආකාරය, පාරක් අහපුවාම වචන පටලගන්නේ නැතුව කෙනෙක්ට හරියට විස්තරයක් පෙලගස්සගන්නා ක්‍රමය, ගෙදරක අදහස් හුවමාරු කරගන්න විදිය, නිහඩ වෙන්න ඕනේ වෙලාව, කතාකරන්න ඕනේ වෙලාව, සාදාරණව ගැටුමක් නිරාකරණය කරගන්න විදිය, කණ්ඩායම් වැඩ, නායකත්වය - මේ වගේ දේවල් වලට පුහුණුවක් අදහසක් සමහර පාසැල් වලදි ලැබුනට අනෙක් ගොඩක් පාසැල් වලට එහෙම දෙයක් ගැන අදහසක්වත් නැහැ කියලා හිතෙන අවස්තා එදිනෙදා ජීවිතේදීනම් එමටයි. සමහර ගුරුවරුන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේම නැහැ. තවමත් ගොඩක් අයට ඇත්තටම දිග දුර කාලය අවකාශය ඉඩ පිළිබද හැගීමක් නිවැරදි අනුමානයක් නැහැ. පයින් යන අය කොච්චර හිටියත් - දුර ගැන යන්තම් හෝ නිවැරදි තක්සේරුවක් ගන්න තරම් තමුන්ගේ ගමන් බිමන්වත් විශ්ලේෂණය කරගන්න දක්ෂ අය අඩුයි. ඇයි ප්‍රථමාධාර - ප්‍රථමාදාර දෙන්න ගිහින් මැරිච්ච අය වැඩි ඇති බේරිච්ච අයට වැඩිය. ගොඩක් අය ප්‍රථමාධාර කියල කරන්නේ රතු කතිරෙ පෙට්ටියෙන් ගෙනත් පැනඩෝල් දෙකක් බොන එක. නැත්නම් දන්න විදියට ඉස්පිරිතාලෙකට ඉක්මනට දක්කගන්න එක. ඇත්තමටම ගින්නකදි නැත්තනම් හදිසි අනතුරකදි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, අනතුරකට ලක්වෙච්ච පුද්ගලයෙකුට උදව් කරන්නේ කොහොමද - කියන එකට දැනුම පුහුණුව හරි අල්පයි. ඉස්සර පරිසරයෙ නෙමෙයි අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. තට්ටු ගොඩනැගිලි වල, මහා මාර්ග වල, අධිවේගී මාර්ගවල, නැව්වල, ගුවන් යානා වල, වාහන වල, රේල්ලු වල, නොයෙක් යන්ත්‍ර සූත්‍ර කොම්පියටර් ජිල්මාට් etc etc එක්ක. හෙට මේක මීටත් වඩා වෙනස්. මේ පරිසරයෙන් අපිට නොයෙක් පෙර නුදුටු අභියෝග දැනටමත් ගෙනත්. අපි ගොඩක් දෙනෙක් සමහර අවස්ථාවල මොකක්ද කරන්න සුදුසුම දේ කියලා තාම දැනුවත් නැහැ. මේ වෙනස් වන පරිසරයේ ජීවත් වෙන්න විවිධ දක්ෂතා අවශ්‍යයි. වාහන ධාවනයට ගොඩක් අය හරි හපන්නු කියලා හිතන්නේ. මොටර් සයිකල් කාර් බස් කජු වගේ කියල තමයි බයිස්කොප් වල නලුවන්ගේ වැඩ කෑලි දැක්කාම හිතෙන්නේ. ලයිසන් එකක් සතියෙන් ගොඩ දාගන්නත් ක්‍රම තියෙනවානේ. ඇත්තටම සාමාන්‍ය පාරවල් වලට වඩා highways වල ධාවනය කරන්න වෙනම පුහුණුවක් දැනුමක් අවශ්‍යයි. අධිවේගී ධාවනයේදී ඇහැ තබාගත යුතු ආකාරය, හිස පැවත්විය යුතු ආකරය, මන්තීරු අනුමාන කරන ආකාරය, සාපේෂ වේගය, වංගු වල පවත්වාගත් යුතු වේගය, රාත්‍රී ධාවනය - සැර ආලෝක කදම්බ වලට මුහුණ දෙමින් ධාවනය කරන ආකාරය - එකි මෙකී නොකී නොයෙක් ධාවන දක්ෂතා පිලිබද හැගීමක් තිබිය යුතුයි. නැත්නම් වාහන නැති හයිවේ වලත් ඩ්‍රයිවින් ට්‍රයි කරල මැරෙන අය ගාන ඉස්සරහට තවත් වැඩි වෙන්න පුලුවන්.
ඉතිං කව්රුහරි මේ පෝස්ට් දැකපු කෙනෙක් ඉන්නවනම් අපේ ලේකම්තුමා මන්ත්‍රීතුමා ඇමතිතුමා හරහා ජනාපතිතුමාට කියන්න ජීවන කුසලතාවලට පොඩ්ඩක් වැඩි කාලයක් පාසැල් කාලසටහනේ වෙන්කරල සැබෑ ජීවනකුසලතාටිකකුත් ළමයිට පාසැලැදී දීලම එළියට දාන්න කියල. මම යනවා නිදාගන්න.

No comments: