Translate

Saturday, March 28, 2015

2014 October 22 - නොදැන ගියොත් Google



තාක්ෂණය අලුත් පරම්පරාව වැළඳගන්නේ කොහොමද ? මට හරිම ප්‍රශ්ණයක්. දැං ළමයි ඉස්සර වගේ නෙමෙයි, හැම පරම්පරාව ඊ ළඟ පරම්පරාවට හැමදාම කියන කතාව තමයි. අද තරුණ ළමයි බස් එකේ යන්නෙත් face book ගගහ. මොකක්හරි වුන ගමන් google කරල බලනවා. ඉතිං google කිරිල්ල ගැන අගේ ඇති වැඩක් අපේ වැඩ පොලත් වුනා. එතන වැඩ කරන ළමයි හැමෝම තමුන්ගේ ප්‍රථම උපාධිය සමත් කරපු පරිගණක ක්ෂේත්‍රෙය් ඉහල රැකියා කරන අය. ඉතිං ඔය කට්ටිය අතරේ හිටපු කවුදෝ මන්දා කෙනෙක් විහිලුවට තව කෙනෙක්ව උපහාසයට ලක්කරලා - කේවට්ටයා කියලා.
කට්ටියටම හරිම ප්‍රශ්ණයක් - කවුද කේවට්ට කියන්නේ කියලා. කට්ටිය මුහුණ මුහුණ බලාගෙන හිනාවෙනවා මිසක් කේවට්ට කියන නම පිටුපස කතාව දන්නේ නැහැ. නිකමට මට හිතුනා කන්ඩායමෙන් අහලා බලන්න කවුද කේවට්ට කියන්නේ කියලා. කවුරුත් දන්නේ නැහැ. තිහකට වැඩි කණ්ඩායමක් හිටියා - ඔක්කොම බෞද්ධ පරිසරයක, සිංහල වටපිටාවක, විශේෂයෙන්ම නාගරික නොවන පරිසරයක හැදුනු නමුත් රැකියාව කරන්න නගරෙට ආපු උදවිය. කවුරුත් දන්නේ නැති නිසා - ඉඟියක් දුන්නා මේක බෞද්ධ ජාතක කතා ආදියට සම්බන්ධ එකක් බව. එක ගැණූ ළමයෙක් අනුමානයක් කරනවා -කේවට්ට කියන්නේ ඇබිත්තයට කියන සමාන නමක්ලු. සමහරු අහනවා හාමුදුරුවන්ට කියන සමාන නමක් නේද කේවට්ට කියන්නේ කියලා.
ඉතිං මම කිව්වා, හරි එහෙනම් ඔයගොල්ලෝ කොම්පීතර් generation එකනේ. Google කරලා බලලා කියන්න කවුද කේවට්ට කියන්නේ කියලා. කවුරුත් සිංහල ටයිප් කරන්න දන්නේ නැහැ. සමහරු google එකේ Kewatta ගහලා. සමහරු fire fox plugin එකකින් සිංගිලිෂ් කරනවා. එතකොට කොහෙද web බ්ලෝග් පත්තර පිටු කෑල්ලක තිබිලා වැදිලා සරත් N සිල්වා කේවට්ට උපදෙස් කියලා. මුන් කියනවා සරත් N සිල්වාට කේවට්ට කියනවා ඇතිලු. මේක විහිලුවක් නෙමෙයි. මේගොල්ලෝ තමයි පරිගණක මුදුකාංග වෘත්තිකයෝ කියලා සමාජයේ පිලිගන්න කොටස. Context එක ගැන අවධියක් නැතුව Search කරපුවාම තාක්ෂණයෙන්ම ඔබ මුලා වෙන අවස්ථාවකට එක් උදාහරණයක් විතරයි මේ.
ඉතිං වැඩපොළ වල කොම්පැණිවල අපිට මුණ ගැහෙන්න මහ පුදුම ළමයි. ඔවුන් ඇත්තටමත් උගතුන්. උපාධිධාරීන්. බුද්ධිමත්. උද්යෝගිමත්. නමුත් මොළයේ සමහර පැති අවධි වෙලා නැහැ අත්දැකීම් විරල බව නිසා. සමහර ළමයින්ගේ ගම් සමන් දෙවියන්ගේ අඩවියේ - සමන් දේවාලේ අභියස ගෙවල්, නමුත් සමන් පිච්ච වැල අදුනන්නේ නැහැ. සමහරු එන්නේ ග්‍රාමීය පරිසර වලින්. නමුත් අගුණ කොළ අදුනන්නේ නැහැලු. කුරුණෑගල එක ළමයෙක් හිතන් ඉන්නේ වී හැදෙන්නේ කුඹුරු යට කියලා. ඉතිං මම කේවට්ට කියන එක පැහැදිළි කරන්න උම්මංග ජාතකය ලින්ක් එක යැව්වත් තරුණ වයස නිසාම සමහර අය සතුටු නැහැ තමුන්ගේ නොදැනුවත් බව දුබල කමක් විදියට දකින්න. ඔවුන් තර්ක කරන්නේ ඒවා දැනගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියන එකට. ඇත්ත මේවා දැනගත්තා කියලා ඇති වැඩක් නැහැ. පරම්පරාවෙන් පරාපරාවට දැනුම සංක්‍රමණය වෙන්නේ අපි කැමති විදියට නම් නෙමෙයි. සමහර ශිෂ්ඨාචාර වැලලෙන කොට සමහර දැනුම් සම්භාරයන් ආකල්ප යට යනවා. අධ්‍යාපන ක්‍රමයට දොස් කියලත් වැඩක් නැහැ. ලෝකය කියන එක නිතරම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයිලු. එතනදි ආකල්පත් වටිනාකමුත් පුදුම විදියට වෙනස් වෙනවාලු.
ගොඩක් මේවගේ නොමේරපු ළමයි හැදෙන්නේ - මම දැකල තියෙන විදියටනම් දෙමව්පියන්ගේ වරදින්. විශේෂයෙන්ම ළංකාවේ ගෑණු ළමයින්ට පංති කාමරයෙන් පිට දැනුමක් ඇත්තේම නැහැ. ගොඩක් ඉහලට ඉගෙන ගන්න පිරිමි ළමයිනුත් සමහර විට එහෙමයි. වැස්සකට තෙමෙන්නේ නැහැ, පාරේ පයින් ඇවිදින්න බැහැ, ක්‍රීඩාවක් කරලා නැහැ, සමාජයේ ගැටිලා නැහැ - ඉතිං වැඩක් ප්‍රායෝගිකව කරන්නත් ලෝකය ප්‍රයෝගිකව අත් විදින්නත් දන්නේ නැහැ. එතකොට තමුන් නිතරම නිවැරදියි කියලා හිතන ආත්ම විශ්වාසය තුලම මේ ගොල්ලෝ අතරමං වෙන්නේ නොදැනුවත්වමයි.

No comments: