Translate

Saturday, March 28, 2015

2014 මාර්තු 15 - පොල්මල් පිපිලා



පොල් මල් දෙකක් පිපිලා අලුත් සිඟිති පොල් පැල පොඩිත්තක . උදේ දත්ටික මැද මැද ගෙවත්ත වටේ පොඩ්ඩක් ඇවිදින්න ගියේ සිරිතක් විදියටනම් තමයි. කොහොමහරි උපතින් අපි ජීවත්වුන පරිසරයෙන් යම් දැනුමක් අපිට ආවනම් - ඒ ගොවිකම තමයි මගේ හිතේ කියලා මේ වෙලාවේ මට හිතෙන්න ගත්තා. Jorge කියලා කියන්නේ ගොවියට කියලා දැනගත්තේ එංගලන්තේ පුංචි රජ්ජුරුවෝ ඉපදුන දවසෙනේ. ඉතිං එංගලන්තේ හිතේ තියන් ලංකාවේ ජීවත් වෙන එක තමයි අපේ සිරිත. ගොවිතැන ගැන කියද්දි - එංගලන්තේ තිරිඟු, අපේ වී. එංගලන්තේ අශ්වයෝ. අපේ රටේ හරක්. ආයේ අලුතින් කියන්න දෙයක් නැහැ - පෙරදිග අපරදිග හැම තැනම ගොවිකමට තියෙනවා ලොකු ගෞරවයක් - හැබැයි හරියට කෙරුවොත්. රජෙක්ගේ පුතෙක් නොවිච්ච ගොවියෙක්ගේ පුතෙක් වෙච්ච මටත් ඉතිං උපතින්ම ගොවිකමට ආපු ලෙංගතුකම කුඩා කාලේ ඉදන් තිබ්බා. පොඩිකාලෙත් ජහ් ජහ් පිටමහ් පිටමහ් කියලා මී හරක්ගෙන් සී සාන්න - පොල් කජු අන්නසි වගේ තාත්ත කරපු පොඩි පොඩි වගා කෑලි වලට එහෙන් මෙහෙන් හොටදාන්න ආසාවත් කම්මැලි කමත් දෙකම තිබ්බා.
ඉස්සර හරක බාන - පස්සේ ටැක්ටර් - දැන් ඩෝසර්. දැං අපේ ගමේ මෑ ඇට හිටවන්නෙත් ඩෝසරෙන් පාත්ති හදලා. බුලත් කොටු වලටත් පොල් වලවල් කපන්නත් අපි ගන්නේ ඩෝසර්. ඉතිං මම ඩොසර් මල්ලි සෙට් කරගත්තේ පාත්ති කොටන්න නෙමෙයි. මේ දවස්වල පෑවිල්ලට මගේ හිතවත්තු ටික බේරගන්න වලක් කපන්න. කුඩා කදු ගැට දෙකක් පුරා විසරුනු අපේ වත්ත - අපේ සීයාගේ හිතට අල්ලලා තියෙන්නේ කදු දෙක මැදින් නිතරම ගලන ඇල කදුර හින්දලු. දැන් ඇලවල් වියලිලා ගිහින් මොකද වැහි වතුර රඳවගන්න තැනක් මහ පොලෙවේ ඉතිරි වෙලා නැති නිසා. මට නිකමට වගේ වතුර ටික රදවගන්න හිතුනේ ඒකයි. ඒකට වලක් කපාගන්න තමයි ඩෝසරේ.
කතාව ඒක නෙමෙයි. මේ පොල් පැල ගැන ඉතිහාසයක් තිබ්බා. අද මල් දරන පොල් පැල අවුරුදු 7කට කලින් හිටවන්න මට අදහසක් ආවේ ඒ දවස්වල රස්සාවක් නොතිබ්බ හින්දා. ඉතිං කැම්පස් එකෙන් දොට්ට දැම්මට පස්සේ අවුරුද්දක් විතර යනකන් රස්සාවක් හොයාගන්න බැරිවුනානේ. ඒ කාලේ මගේ යාලුවෝ හැමෝම හොද රස්සාවල් කලා. පවුල් පංසල් වුනා. මට රස්සාවක් කරගන්න ඉන්ටවිව් වත් දාගන්න බැහැ උපාධි කොලයක් නැතුව. ඉන්ටවිව් ගියත් හැමදාම අසමත්. රස්සාවක් නැති එක අවුරුදු විසි පහක් විසි හයක් වවෙනකොට උහුලගන්න බැරි දුකක් වෙනවා. වියදම් කරන්න සල්ලි දෙමව්පියන්ගෙන් ගන්නත් බැහැ. උඩඟු කම නිසා පොඩි පොඩි වැඩ කරන්නත් බැහැ. මිතුරන්ට මූන දෙන්නත් බැහැ. සමාජයට මූන දෙන්නත් බැහැ. මට මතකයි ඒ දවස්වල තාත්තා මට බනින හැටි. ගමේ නෑදෑයෝ හිතවත්තු සමහර වෙලාවට මේ වගේ අවස්ථා එනකං ඉන්නේ සමරන්න බලාගෙන - නැත්නම් උපහාසයට අපහාසයට ලක්කරන්න. සමහර මිතුරෝ කතා කරලා මතක් කරලා දෙනවා උඹලා කැම්පස් ගියාට ඉංජිනේරුකං ඉගෙනගත්තට වැඩක් නැහැනේ - අතේ සතයක් නැහැ දැන් රස්සවකුත් නැහැ නේද කියලා. හැමදේටම වගේ දුක්වෙන අම්මලා කදුලු පිහ පිහ තමයි උදේට සම්බෝලයක් හරි බතක් හරි උයලා බඩ ගෝස්තරේ ගෙනල්ලා දෙන්නේ.
ඉතිං මට ඒ දවස්වල නැවත ඉගෙන ගන්නත් පුදුම උනන්දුවක් ආවා. ඒත් කෝ සල්ලි. කවුද දැන් මහපොල දෙන්නේ. කරන්න තිබ්බේ එක දෙයයි. තනියම ඉගෙන ගන්න එක. එක දවසක් අහම්බෙන් කෝල් එකක් ඇවිත් කැම්පස් එකෙන් හදිස්සියෙන් එන්න කියලා තිබ්බා. ඒ 2006 අවුරුද්දේ ඔක්ටොබර්. මම උත්සවයකට අතින් වියදම් කරපු සල්ලි ටිකක් ගන්න අමතක වෙලා. රුපියල් හාර දාහක්. හිතාගන්නත් බැහැ. ඒක ආපහු ගන්න එන්නලු. එන ගමන් බෑග් එකක් ගත්තා 2200, අද තාම ඒක රාජා මාමා වැඩට ගෙනියනවා. එයා හරි ආදරෙන් තමයි බෑග් එක තියන් ඉන්නේ - ඉංජිනේරු බෑග් එකක් කියලා. රාජා මමා ලොරි රියැදුරෙක්. බෑග් එක ගන්න ගන්න වාරේ මාව මතක් කරනවා. ඊ ලඟට TOD Lamle ගේ CCNA පොත. ඒ දවස්වල රුපියල් 1200. මගේ මිතුරා දර්ශන රවිනාතට T-shirt එකක් Romafore එකෙන්. රැපියල් හාරසීයයි. ඉතිරි දෙසීයේ අපි දෙන්නා බඩ පැලෙන්න තෝසේ කෑවා.
මේ ToD Lamle මහත්තයාගේ CCNA පොත තමයි මම මුලින්ම කියවලා අවසන් කරපු පලවෙනි තාක්ෂනික පොත. ඒ පොතෙන් තමයි ඉගෙන ගත්තේ කොහොමද තාක්ෂනික පොතක් කියවන්නේ කියලා. ඉතාම කටෝර සංකල්ප සහ නෝතේරෙන අපබ්‍රංශ තාක්ෂනික සංකල්පයන් මම හිතන්නේ මම එකක් නෑර කියෙව්වා. දවසකට මේසේ උඩ උදේ 8 ඉදන් හවස හතර වෙනකම් හරියට තේරුම් අරන් පිටු තුනයි කියෝ ගන්නේ. එතකොට මට තේරුනා මට සමහර දේවල් හරියට ඉගෙන ගන්නම් කාලය අවශ්‍යයයි කියලා. කාලය ගන්න ලෝභ වෙන එක ජීවිතේ කරන මොඩ කමක් කියලා තවත් පස්සේ හිතුනා. කොහොමහරි අරමුණක් ඇතිව වැඩක් කරන නිසා මට රස්සාවක් නැහැ කියන දුක තුනී වුනා - මොකද මම Shift එක විදියට 8-4 occupy කරගෙනනේ !!!. ඔය විදියට මාස පහකට වඩා එකම පොත කියෙව්වා. මේකේ තිබ්බේ පිටු 800ක්ද කොහෙද. අනුලෝම ප්‍රතිලෝම විදියට කියෙව්වා ප්‍රතිලෝම අනුලොම විදියට කියෙව්වා. මලලසේකර ඩික්ෂනරිය ඔය කියන තාක්ෂන වචන නැහැනේ. ඒ දවස්වල මොන ඉන්ටනෙට්ද. කොම්පුයිටරයක්වත් නැහැ හරියට වැඩ කරන.
ඉතිං වැඩ ඉවරවෙලා හැමදාම හවස්වරුවේ කලේ වත්ත පුරා පොල් වලවල් කපන එක. දවසකට අඩි හතරයි හතරේ පොල් වලක් කපන එක තමයි ටාගට් එක. බොරලු පොලොවේ වැඩේ ලේසි නැහැ. හැබැයි මම මාස හයක් හතක් විතර යනකොට ඔක්කොම පොල් වලවල් සීයකට වඩානම් වත්ත පුරා කපලා. ඉතිං මේවාගේ දිගටම පොල් පැල හිටෙව්වා. එකක් හිටවනකොට සමහර ඒවා මැරෙනවා. සමහර ඒවා වැස්සට කුණු වෙනකොට තව කාලෙකදි අනික්වා අව්වට වේලෙනවා. කොච්චර පොල් ලෙලි දැම්මත් පස සංරක්ෂණය කලත් අපිට පාලනය කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ලස්සනට හැදෙන ගස් කුරුමිනියෝ කාලා කඩන් වැටෙනවා. සමහර මිනිස්සු යමින් එමින් ගමන් හිතවත් කමට පොල් පැල කපනවා. පැල හරක් කාලා බාල වුනාම වර්දන වේගය අවුරුදු ගනන් පස්සට යනවා. ඒ පස්සට යන්නේ පොල් ගස් පීදීම වීතරක් නෙමෙයි - පොල් පැලයක් මැරෙන මැරෙන වාරයක් ගානේ මගේ ජීවිතේ අවුරුද්දක් නිකරුනේ පස්සට අදිනවා වගේ තමයි මට හිතුනේ.
තාත්තට ඒදවස්වල මම පොල් වලවල් කපන එක එයාගේ ජීවිතේ ලබපු ලොකුම පරාජයක් වෙලා. දරුවන්ට මහන්සිවෙලා උගන්නලා උගන්නලා මෙන්න මූ දැන් වත්තේ වලවල් කපනවා !!! එයා කාලයක් මිනිස්සු ගෙන්නන් වැඩ කලත් තව දුරටත් මිනිස්සු ගෙන්නගන්න බැරි තරමට ආර්තිකයන් වෙනස් වෙලා. මිනිස්සු කූලී මුදල් වැඩි කරලා. කම්කරුවන්ට වැඩි වැටුප් ලැබෙන ස්තිර රැකියා කර්මාන්තශාලා වල උදා වෙලා. තවදුරටත් කුලී කරුවන් මිලදී ලබාගන්න බැරි තරමට ආර්තිකයන් වෙනස් වෙලා. තාත්තා මේ දවස්වල දකින දකින වෙලාවට මට බනිනවා - අපහස කරනවා. ඇත්තටම එයාට ඒ වෙනස තේරුම් ගන්න තරම් දැනුමක් තිබුනෙත් නැහැ. අනික වටපිට සමාජය තමුන්ගේ පුතාව රස්සාවක් නොකරන නිකමෙක් විදියට හදුන්වමින් තිබුන එක තාත්තටත් ලොකු පීඩනයක් ගෙනආවා. එයාගේ විස්‍රාමික මිතුරු සංස්තාවේ හම්බකරන කසාදබදින දරුමල්ලෝ ඉන්න ලොකු පොරවල් කියලා පුම්බන් ඉන්න මිතුරු පුතුන් සමග මගේ අසාර්ථකත්වය සන්සන්දනය කරමින් තාත්තා ගොඩාක් තැවීමෙන් කල් ගතකලා.
ඉතිං මේ පොල්මල් දකිනකොට අද මට හිනා යනවා. සාර්තකත්වය අසාර්තකත්වය කියන එක මනින්න යන එක තමයි අපි ජීවිතේ කරන මෝඩම වැඩේ. අනික් එවුන් සමග සන්සන්දනය මිනිස් සමාජයටම තියෙන සුව කල නොහැකි තරමේ රෝගයක්. අද තියෙන Materialistic සමාජයයේ අනෙකා සමග කරට කර හැපෙමින් ජීවත් වෙන්න වෙලා නිසා මේක නිට්ටාවටම සුව කරන්න දුෂ්කර වුනත් පාලනය කරන්න පුලුවන් කියන එක තමයි මට හිතෙන්නේ. හැබැයි රෝගය දැන දැනත් අනිකට ඇති එක මට නැති වීම ගැන තැවෙන එක අනුවණ කමක්. ඒක ගැන හිතලා තැවීමෙන් නැතිවෙන්නේ අපිට සතුටින් ඉන්න ඉතිරි වෙලා තිබ්බ වටිනා කාලෙන් ටිකක් විතරයි. දිනුවත් පැරදුනත් හරිගියත් වැරදුනත් පොල් මල් පිපුනත් නැතත් - හිතේ සතුට තියාගන්න පුලුවන්නම් ඒක තමයි ජිවිතය දිනුවා වෙන්නේ. මේක හරි අමාරු වැඩක්. දකින දකින සුන්දර දේට නිරායාසයෙන් දැවටෙන හිත ආයාසයෙන් පාලනය කරන එක වෙහෙසකරයි. හිත මෙල්ල කරගන්න පුලුවන් අවබෝධයෙන් විතරයි කියලයි මේ පොල් මල් කියන්නේ. අවබෝධය ගිලිහෙන වෙලාවට ඒක ගැන හිතපන් කියලත් හිත කිව්වා. ඒත් අමාරුනම් face book එකට ලියලා දාපන් කියලත් හිත කිව්වේ මේ පොල් මල දිහා බලලා සතුටු වෙන වෙලාවෙම තමයි.

No comments: