Translate

Saturday, March 28, 2015

2014 May 2 - දුටි රිලා නැටුමක් ගෙන කඩුවක් අතින් සරදම් මැද කම්කරුවනුත්



ඊයේ හවස් වෙන කොට මැයි දින ට්‍රැෆික් එකට සෙට් වෙච්චි. විට කාකා අරක්කු බිබී මේස් බැනියන් ඇදගත්තු බඩ තඩි ඇග කෙට්ටු කම්කරුවෝ කම්කරු සාජ්ජය ජයටම සමරති. මුදල් නොගෙවා හොරාගත් ලංගම බස් රථ පාර පුරා යනවා දක්නට ලැබුනි. මේ බස්රථ බොහෝමයක ඩයිවර් මහතාට අමතරව යහමින් පදම් වූ කම්කරු ජනතා නියෝජිතයන් හිස් ආසන අතර බූරු ඇදන් දමමින් සයනයේ යන සැටියක්ද දුටිමි. නේක වර්ණ පොලිතින් ධජ පතාකයන් හා පොලිතින් දේශපාලන මුහුණු හයිලෙවල් පාරත් කැම්බල් පිටියත් විච්චූර්ණ නීල වර්ණයෙන් අලංකාර කරති. සෑම බසයකම ගසන ලද වින්ස්ක්‍රීන් එක පුරා පැතිරුනු ප්‍රාෙද්ශීය හා මහා කම්කරු නායකයන්ගේ මුහුනුත් තඩි බඩ ගෙඩියත් රට සංවර්ධනයේදී කම්කරුවා හිමිකරගත් ආර්ථික සමෘද්ධිය මොනවට විදහා පායි. ඒ අතර අව්වට කර ගැහුනු පක්ෂයට ලැදි සුන්දර ගැමි ලියන් පක්ෂ නිල ඇදුම තමුන් දුක් මහන්සියෙන් හරි හම්බකරගත් මුදලෙන් මිලට ගත්තක් බැවින් දූවිල්ලෙන් ඇදුම රැකගනුවස්ද ගමන් විඩාව දුරලාගනු වස්ද රෙද්ද උස්සාගත් තම නායක ගැලවුම්කරුගේ මුහුණ යොදා තනන ලද පුවරු අවානක් ලෙස ගෙන පවන් සලන මනරම් දසුනකි. ඒ අතර සිටින නායක ගැහැණිය විටක සටන් පාටයක්ද තවත් විටක කුණුහරපයක්ද කියමින් මේ මහා කම්කරු සටනට ජීවය දනවයි. කිසිදිනක නිදිවර්ජිත රාත්‍රීන් එක දිගට සේවාමුර වල නොයෙදුනු නමුත් කම්මැලි කමට බංකු මත සිටිමින් විට කමින් කයිවරු පූචානන් කෙලිමින් බංකු රත්කරන මේ වාසනාවන්ත කම්කරුවන් පලමු වරට කොළඹට පැමිණ තම කෙලි පෙන්වීමටත් තම මුහුකුරා ගිය දේශපාලන දැනුම ලත් විට ප්‍රදර්ශනය කිරීමටත් කිසිම පැකිලීමක් නොවිනි.
කෙමෙන් සැන්දෑ අදුර ලංවන විට තවද මාර්ග තදබදය ලිහිල් බවක් නුවූයෙන් රැස්වීම් අවසන් කිරීමේ උත්කර්ෂවත් අවස්ථාවට දායක වීමටද අවස්ථාව ලදිමි. ඉතා මහන්සියෙන් උගත්, ඉතා මහන්සියෙන් සිරුර වෙහෙසවමින් නිදි වරමින් දනය රැස්කිරීමට මහන්සිවූ කම්කරුවන් මේ මැයි දිනය අවසාන අවස්ථාව ලංවන විට පැය දෙකක්වත් කෙලින් හිටගෙන හිටිය නොහැකි නිසා අවට ගස් ගල් කානු ත්‍රීවීල් ආදියට හේත්තුවක් දාති. අවසාන මොහොතේ හඩ තලමින් අත පය විසිකරමින් කම්කරුවන් තලමින්ම පැමිණි කම්කරු නායකයෝ සන්ග්ලාස් පැළද හෙවනකින් වාහනය නවතා හෙවන සහ සුවපහසු ආසන ඇති කම්කරු වේදිකාවට නගිති. ඉන්පසු රට ලබා ඇති ප්‍රගතියත් ඉන් ඉදිරියට තව තවත් කම්කරුවා ලැබීමට නියමිත වරාප්‍රසද පිළිබඳවත් රසවත් හර බර කථා වේදිකාවට එක් වෙති. කම්කරු නාටිකාංගනාවන්ගේ රංගනද කම්කරු වාද්‍ය කන්ඩායම්ද උත්සවය තවත් හර බර කරයි. උත්සවය ඉවර වූ සැනින් කම්කරු නායකයෝ සුඛොපබෝගී කම්කරු පංතියට අයත් ප්‍රාඩෝ බෙන්ස් අව්ඩි ආදී ඉතා පහත්වර්ගේ දුෂ්කර වාහන වල නැග ජනතාවගෙන් සමුගෙන ඉගිලී යති. කම්කරු නායකයන්ට තවමත් ආරක්ෂක ප්‍රශ්ණ ඇති බැවින් ස්වේඡ්චාවෙන් ඉදිරිපත් වූ කම්කරු ආරක්ෂකයෝ අතපය විසිකරමින් ලයිට් පොලු ගසමින් මේ රථවලට ඉදිරි මන් අතුරා ඇති නූගත් කම්කරුවන් ඉවත් කරති. පළමු වරට කොළඹ පැමිණී ඇතැම් කම්කරුවෝ බස් රථය හොයා ගත නොහැකිව එහාට මෙහාට සරමද කඩාගෙන දුවති. අනෙක් කම්කරුවෝ කම්කරු නායකයන්ට ජයත් රටේ සංවර්ධනයත් මෙනෙහි කරමින් රෙදි කඩන් කොණ්ඩ කඩන් පයින් ඇවිද ගොස් ඉතා දුක සේ හොරාගත් ලංගම බස් රථයට ගොඩ වෙති.
මේ අතර මේ මහපාරේ එදාවේල හොයමින් දුවන ධනපති කම්කරුවෝ වෙත්. ඔවුන ත්‍රීවීල් එකට හයර් එකක් නැතුවත්, මහා පාරේ බසයක් නැතුවත්, වැඩ ඇරී ගෙදර යාමට ක්‍රමයක් නැතුවත් මග දිගට ලත වෙති. ඔවුන් වෙහෙසවී වැඩ කර මුදලක් උපයමින් කම්මැලි කමින් තොරව දැහැමින් ජීවත් වීමට උත්සාහ වෙත්. බදු ගෙවීමටද මුදල් දෙත්. ලමයිනට අද්‍යාපනයක් දීමටද උනන්දු වෙත්. ළමයි මේ රටින් පිට වාසනාවන්ත රටකට යැවීමටද සිත් වෙත්. ඔවුන් පාරට තාර දමන කල අවට දැන්වීමක් නැති නිසා ගැට්ට නොදැක පෙරළෙත්. සැනසීමක් නැති නිසා ආර්ථික හා ගෘහ පීඩනය දරාගනු නොහැකි වස් අසිහියෙන් මොටර් සයිකල් පැද පෙරළී මියෙත්. දුම්රිය පරක්කු නිසා කලින් යන දුම්රියට දුව ගොස් නැග දිවි පුදත්.
මේ කරුණු කාරණා ගෙන හැර බලන කල රටට වැඩක් කර පාඩුවේ වෙහෙසෙන කම්කරුවාට වඩා පූචානම් කෙලිමින් අවස්ථාවාදී අරමුණකින් සිය ස්ථුල කම්කරු නායකයාට බත් බැල කම් කරන කම්කරුවා ශේෂ්ඨම වෙත්. ඔහු ලංගමෙන් කම්කරු දිනයට නොමිලේ සුඛොපබෝගී විනෝද ගමනකුත් යත්. ඔහු එදිනම විවිධ කම්කරු නායකයන්ගේ සටන් ජවනිකාත් ගීත සංදර්ශනත් පොලු වින්දනත් මිහිරි කතාත් රස විදිත්. ඒ අතින් බලන කල රසවිංදනයෙන්ද උගත් කමින්ද රටේ අවසන් තීන්දුවත් ආනාගතයත් පිළිබඳ තීරණ ගන්නා උගත් බලවත් බුද්ධිමත් චන්ද දායකයා ඔහුම වෙත්.

No comments: