Translate

Thursday, March 26, 2015

2013 අප්‍රිෙයල් 05 - රණවිරුවෙක් හම්බවුනා ඇත්ත - තාමත් හොදනොවුන තුවාල වලට බේත් ගන්න යනවා නාරහේන්පිට !

අත්තන කියන්නේ අපේ ගමේ ගොඩේ වැවෙන කොළ ඇට කිරි මුල් හැම එකකම අධික විසක් තියෙන ගස් ජාතියක්. මේක බේතටත් ගන්නවා - ඇදුමට හොදයිලු කියල කියනවා. අත්තන ඇට කාපුවාම පිස්සු හැදෙනවා කියලත් කියනවා. මේවා වර්ග තුනක් ගැන මට අපේ වත්තේ වැඩකරපු චාලිං අත්ත කියල දුන්නා. අත්තන කිව්වත් ඉස්සර මිනිස්සු වෙව්ලනවා. අපේ සීයල ආච්චිල කියමනට කියන්නේ අත්තන හූනියන් කරන්න ගන්නව කියල. මම දන්න අත්තන වර්ග තුනයි. එල අත්තන, බෝ අත්තන, කළු අත්තන කියල මේවා කිව්වෙත් චාලිං ආත්තම තමයි. එයා නොදන්න බෙහෙත් වර්ගයක් අපේ ගමේ තිබ්බේ නැහැ. මේ එල අත්තන වලට දෙමළෙන් කියන්නේ ආයිගම් කියලා. වැරදිනම් සමාවෙන්න. මේ කිරිත් හරිම විසයි. ඇස් වලට වැටුනොත් විනාසයි. අන්ධ වෙනවා. අද කියන්න යන කතාව එල අත්තන ගැන නෙමෙයි. මට දවසක මුණ ගැහිච්ච සිංහ රෙජිමේන්තුවේ සේවය කරපු දැන් විශ්‍රාමික ඒ වගේම ආබාධිත සැබෑ රණවිරුවෙක් ගැන.
එයා 1990 අවුරුද්දේ සේවය කෙරුවේ නැගෙනහිර මුහුදු මායිමේ. එතකොට නැගෙනහිර ප්‍රසිද්ධ ම්ලේච්ඡ පොලිස් නිළදාරින් ඝාතනයෙන් පස්සේ ආරක්ෂාව තහවුරු කරන කදවුරකට තමයි මෙයාව මාස කිපයක පුහුණුවෙන් පස්සේ අනුයුක්ත වෙලා තියෙන්නේ. මේ ප්‍රෙද්ශයේ දෙමළ මුස්ලිම් ජනතාව තමයි ඒ දවස් වල වැඩි. හැබැයි කොටි සංවිධානය තමයි බලවත්.මේ ගොල්ලන්ට කදවුරෙන් හෙල්ලෙන්න බැරුව හිටියා කියල තමයි කිව්වෙ.එහෙම තියෙද්දි කදවුරේ ආරක්ෂාව තහවුරු කරන්න අලුතින් අගල් කපලා. මේ පැත්තේ කටු සහිත එල අත්තන බහුලයි. හැබැයි කඳවුරේ සිංහල කට්ටිය කවුරුත් දන්නේ නැහැ ඒක විෂයි කියලා. ඒ වෙනකට අසල හිටපු දුප්පත් ගම්මු එක්ක හමුදාවටත් ලොකු විස්වාසයක් තිබිලා නැහැ කොටි කෙරුවාව ගැන දන්න නිසා. මේ අගල් කපද්දි නොදැනුවත්ව වැදුන උදලු පාරට එල අත්තන දල්ලක් කැපිලා කිරි ඇහැට වැටිලා. වෙලාව හවස 6 ටත් කිට්ටුයිලු. පාරවල් කොහොමටත් වහල නිසා ඉස්පිරිතාලෙකට යන්න පහුවදා උදේ පෙට්රල් එක එනකන් ඉන්නම වෙනවලු. චොපර් එකක් ගෙන්න ගන්න හැදුවලු, ඒකත් බැරි වුනාලු. වේදනාව දරාගන්න බැරුව මෙයා කෑ ගහනවලු. ඔය සද්දේ ඇහිලා අහල පහල එක මුස්ලිම් මනුස්සයෙක් මේ ගොල්ලො හිටපු පැත්තට සොදිසි කරගෙන වගේ ආවලු හොරෙන්ම කදවුර පැත්තට කලුවරේම. කරන්න දෙයක් නැති නිසා සැකෙන් වගේ කඳවුරේ අය කිව්වලු වෙච්ච දේ. මේකේ විස සහිත බව ඒ පැත්තේ මිනිස්සු දන්නවලු. ප්‍රතිකර්මය තමයි තන කිරි ටිකක් ගෙනත් ඇහැට දාන එක. කවුද සිංහල හමුදාවෙ එවුන්ට තනකිරි දෙන්නෙ දෙමළ ගමක් මැද මේ වගේ යුද්දේ උපරිම වෙලාවක. ඒත් පැය බාගයක් යනකොට මේ මුස්ලිම් මනුස්සය දෙමළ ගෙදරක අම්මා කෙනෙක්ට වෙච්ච ඇබැද්දිය කියලා තනකිරි ටිකක් බෝතලයකට ඉල්ලගෙන ඇවිත්. මේ අන්තිමට ඒ රණවිරුව කියපු වචන ටික. “අද යුද්ධෙ ඉවර වෙලා, මගේ කකුල කැපුවට ඇස් දෙක තියෙන එක ලොකු දෙයක්. යුද්ධයක් කියන්නේ මොකක්ද කා වෙනුවෙන්ද ගහ ගත්තේ කවුද ඒ කෙන් ගොඩ ගියේ කියල මම කියන්න යන්නේ නැහැ. යුද්ධෙ කියන්නේ දුප්පත් එකා ඔට්ටුවට දාලා පුලුවන් එවුන් කරන සෙල්ලමක්. සිංහලද දෙමළද මුස්ලිම්ද කේස් එකක් එතන නැහැ. අපි අද බේත් ටික ගන්නෙත් පැය ගණනක් රස්තියාදුවෙලා. හැබැයි අපි ආඩම්බරයි අපි දෙයක් කලා කියලා. අද සමහර එවුන් ඒකත් උදුරගෙනනේ. “

No comments: