Translate

Thursday, March 26, 2015

2013 April 29 - කතරගම චාරිකාව



පසුගිය සතියේ දවසක මට හදිස්සියේම කතරගම යන්න සිද්ධවුනා. ඉතිං මම මේක අවස්ථාවක් කරගත්ත හම්බන්තොට තිස්ස කතරගම ලුණුගම්වෙහෙර සූරියවැව ප්‍රදේශවල ටිකක් කරක් ගහන්න. ඇත්තටම සුනාමියෙන් පස්සේ මට මේ පැතිවල යන්න ලැබුණු හතරවෙනි වතාව තමයි මතක හැටියට. එදා සුනාමි දවස්වගේ නෙමෙයි දැන් හම්බන්තොට - මහා පාරවල්, ජනශූන්‍ය නගර නිර්මාණ, වරායවල් ආදි යටිතල පහසුකම් ගොඩක් දියුණුයි. තියෙන පහසුකන් වල හැටියට ජන ගනත්වයේ අඩුවක් තමයි බැලූ බැල්මට දක්නට ලැබුනේ. හැබැයි ඉතින් මොන සංවර්ධන ව්‍යාපෘතිය ගත්තත් initial stages වලදි ගොඩනගන සම්පත් සම්පූර්ණයෙන්ම occupy වෙන්නේ නැහැනේ. ඇත්තටම මේ වගේ ව්‍යාපෘති රටට අවශ්‍යයි කියන දෙයට කිසිම විවාදයක් නැහැ. මත්තල ගුවන්තොටුපොළ හම්බන්තොට වරාය ආදිය රටට ලැබුන මහඟු දායාද විදියට තමයි මම කවදත් දකින්නේ. නමුත් විවාදය තියෙන්නේ මේ ඉදිකිරීම් වල බලා පොරොත්තු අරමුණු මොනවද ඒ අරමුණු ඒ ලෙසම ජයගන්න ඕනේ කියන තැනට තියෙන බාධක මොනවද, තව දුරටත් මේ සම්පත් නිසි ලෙස මීට වඩා පලදායීව රටේ ජනතාවගේ සුභසිද්ධිය යහපත හා ජීවන මට්ටම උසස්කරන්න යොදාගන්නේ කොහොමද කියන එක.

යෝධ ඉදිකිරීම් තිබුණට පලක් නැහැ ඒ ඉදිකිරීම් හුදකලා වෙලා හෝ නිසි පල ප්‍රයෝජනයකින් තොරව වියදම් පමණක් ජනතාව මතට පටවමින් නඩත්තු වෙනකොට. මේ ඉදිකිරීම් අදායම් බවට කෙසේ හෝ පෙරළිය යුතුයි. ඒකට තියෙන විශාල බාධක තොගයක් මේ ගමන අතරතුරම අපිත් අත්වින්දා.

මේ අතරින් මම පළවෙනියටම නිරීක්ෂනය කලේ දේශීය හෝ විදේශීය ආයෝජන වල අඩුව - නැත්නම් ඉදිකිරිම් හා යටිතල පහසුකම් දියුණුවීමට සමගාමීව කර්මාන්ත ඇති වෙලා නැති ගතිය. ඇයි මේ ආයෝජන අඩු. ඇයි ආයෝජකයෝ ලංකවේ හෝ හම්බන්තොට ආයෝජනයට මැලි වෙනව ඇත්තේ ? මේකට හේතුව ලංකාවේ ව්‍යාවසායකින්ගේ ව්‍යපාර දැනුම අල්ප කමද? එහෙමත් නැත්නම් ලාංකාවේ පවතින ප්‍රාග්ධන හිගයද? එහෙමත් නැත්නම් දේශපාලන දැක්මක් නැතිකමද? කියන උහතොකෝටිකය, මේ හිස් මන් මාවත් විශාල ගොඩනැගිලි ඉදිකිරීම් අතර තනිවුන මගේ හිතටත් නිකම්ම ආවා. ඉතිං ලංකාවේ ව්‍යාපාරිකයන්ට නෙමෙයි වාහනයක ට්‍රිප් එකක් යන මගියෙකුටත් එකසේ අත්දකින්න වෙන ත්‍රාසජනක අත්දැකීමක් තමයි කප්පම්. හැබැයි ආශ්චර්ය තියෙන්නේ මේ කප්පම් අත්දකින්නේ සාම්ප්‍රදායික කප්පම් විදියට තර්ජන ගර්ජන වලින් විතරක්මත් නෙමෙයි. මේ කප්පම් කියන ඒවා එක එක ලෙස ක්‍රියාත්මක වෙනවා. වැවක් උඩ නැවතුනත් ගගක් ලඟ නැවතුනත් හැම තැනම මොකෙක් හරි ප්‍රාෙද්ශීය සභාවකින් කියාගත්තු එකෙක් එනෙව සල්ලි එකතු කරන්න.

ව්‍යාපාරිකයන්ට කඩ කාරයින්ට මේ ප්‍රශ්නය හරිම වැඩියි. තිස්සේ විතරක් නෙමෙයි පන්නලත් කඩවලට එක එක මගුල් කියාගෙන නිකන් සල්ලි එකතු කරන්න එන කුඩු කාරයෝ කප්පම් කාරයෝ එන්නේ කුඩු කාරයෝ කප්පම් කාරයෝ කියාගෙන නෙවෙයි. උන් එන්නේ එක එක මියුසිකල් ශෝ, උත්සව, සමාජ සුභසාදන කාරණා ආදිය වෙනුවෙන් අව්‍යාජව කැපවෙන රට ජාතියට අම්මට අප්පට වඩා ආදරය කරන දේශප්‍රේමියෝ ලෙසට. මුන් ගොඩක් වෙලාවට ප්‍රාදේශිය දේශපාලන බලවතකුගේ හයියකිනුත් සන්නද්ධ වෙලා කඩ පොලවල් වලට බස්වලට වාහනවලට කරුණා කරන්නේ. ඉතිං එතනදි තමුන්ගේ ව්‍යාපාරය රැකගන්න තමුන්ගේ වාහනේ වීදුරුව රැකගන්න තමුන්ගේ බස් එකේ රූට් එක රැක ගන්න තමුන්ගේ දුවගේ ආත්ම ගෞරවය බේරගන්න හිතන ව්‍යාපාරිකයා සංචාරකයා කරන්නේ ඉල්ලන ගාන දීලා ජාමේ බේරගන්න එක. ගමේම එකෙක්නම් ප්‍රාෙද්ශිය තක්කඩි දේශපාලන බලවතාටම හේත්තු වෙලා උගේ මන දොල පුරනව ඇරෙන්න කරන්න විකල්පයක් අඩු තරම්. මේක කරන්න බැරි ආත්ම අභිමානය අගයන මිනිස්සු ව්‍යාපාර කිරීමෙන් වැලකිලා සද්ද වහලා පාඩුවේ ඉඩමක් කඩමක් බලාගෙන ඉන්නවා. ඉඩම් කඩම් බලාගෙන නිකන් ඉන්න දෙන්නේ නැහැ අපේ මේ ශේෂ්ඨ ප්‍රාදේසිය නායකයෝ. තොරන් ගහන්න කියලා, චන්දෙට කියල, අවුරුදු උත්සවේට කියලා, පන්සලට කියලා පොල්ගෙඩිය, තැඹිලි ගෙඩිය ගොයම්ටික වී ටික කෙසෙල් කැන පොල් අත්ත පොල් පිත්තත් නිකන්ම ආයසයකින් තොරව හූරන් යනවා. ගමේ ගල්පොත්ත ගගේ වැලිටික කැලේ කසිප්පු ටික මූකලානේ ගස්ටික මේ ඔක්කෝම ස්වභාවික සම්පත් වලට එකම හිමිකාරයා ප්‍රාදේසිය සභාවෙ අහවල් රෙස්ටුරන්ට් එක අහවල් ගොන් පොට් එක කරන අහවලාගේ අහවල් අයියාලා. අපිත් ඉතින් මූනට නොපෙන්නුවට දුර දිග හිතල ස්‍රද්ධාවෙන්ම මේවා කරගන්න දායක වෙනවා නැත්නම් නොදැක්කා වගේ පින් අනුමෝදන් කරනවා.

ඊ ළගට අපි බලමු ඉහල මට්ටමේ ව්‍යාපාරිකයෝ ගැන ආයෝකයෝ ගැන. පොලිස්කාරයෙක්ට දාහක් නොදී කිලෝමීටර් 10 ක් ගිය ලොරියක් ටැක්ටරයක් හරි වාහනයක් හරි දැකපු කෙනෙක් ඉන්නවානම් කරුණා කරල කොමෙන්ට් කරන්න. ඊට වඩා ඉක්මනට නොමල ගෙයකින් අබ හොයන්න පුලුවන් වෙයි. ලංකාවේ තියෙන නීතියේ හැටියට මොකක් හෝ බොරු චොදනාවක් කරල මුදල් උපයන්න තියෙන විදිය ලේසිම ක්‍රමයක් තමයි මාර්ග නීති මූලික පොලිස් අබ්‍යාස. මගෙන් සමහරු බැරිම තැන මෙහෙමත් ඉල්ලලා තියෙනවා - මහත්තයා කමක් නැහැ - ලයිසන් පොතත් කිලිටියි, හරියට පේන්නේ නැහැ තේ එකක්වත් බොන්න රැපියල් 500 ක් වත් දීලා යන්න කියලා. මම කිව්වා ලයිසන් එක දුන්නේ මගේ අම්මා නෙමෙයි, මේ රටේම රාජ්‍ය ආයතනයකින් - රුපියල් 1000 ක් ඕනැනම් දණගාගෙන වරෙන් කියලා. මූට යකා නැගලා මගේ අම්මට හොදවයින් බැනල උසාවි දාන්න කියලා මෙන්න ලියනවා. මම කිව්වා ලියපන් හැබැයි දණගාගෙන එන්න වෙයි කියල. මේකා මෙන්න අපේ හත්මුතු පරම්පරාවටම බැන බැන ලියන ගමන් ලොරි ටෝක් දෙනවා. ඉතිං මේ අතර මගේ යාලුවාගේ පෝන් එකේ මේක රෙකෝඩ් වෙලා. මම පොඩ්ඩක් ප්ලේ කරලම පෙන්නුව උන්දැට මේක දැන් ඉන්ටනෙට් එකට ගිහින් කියල - බොරුවකුත් එක්ක. ලොක්කල දෙන්නට මෙන්න තරු පෙනිලා රුපියල් 1000ක් මට දෙන්න ලෑස්තිය. මම කිව්වා මට වදින්න එපා තාත්තා ඇතුලේ ඉන්නවා වැදල සමාව ගත්තොත් ඒක ඉන්ටනෙට් එකෙන් මැකෙයි කියල. මේක වුනේ පදනංගල කියල පැත්තක. ඉතින් කරුණු කාරණා මෙහෙම වෙනකොට පොලිස් මාපියාවෙනුත් ප්‍රාදේශීය සභා මූලික චන්ඩි මාපියාවෙනුත් මිදිලා පාරක් අයිනේ බෙට්ටක් ගහන්නත් දැන් අමාරුයි. තවත් ආයෝජකයෝ ගැන කවර කතාවක්ද ? මොරටුවේ ඩෙස්මන් අයියගෙන් කාල්සිරි අයිය වගේ කොටිපති ව්‍යාපාරිකයන්ගෙන් ඇහුවොත් කියාවි ඒ ගොල්ලෝ පොලිසියටත් පොලීසියෙ නොවන අයටත් ඇර අනිත් අයට කොච්චර දිරි දීමනා පූජා වට්ටි දෙනවද කියලා. මේක හරියට මිහිදු පැනය වගේ - බුද්ධිමත් ව්‍යාපාරිකයන්ටත් එකපාරටම වැටහෙන්නේ නැති තරමට සාමාන්‍ය දෙයක් වෙලා.

මේවා මෙහෙම වෙද්දි අපිම චොදනා කරනවා ආයෝජන වල පසුගාමීත්වයක් ගැන. දැන් හිතන්න විදේශීය ආයෝජකයෙක් ගැන. ඒකා ප්ලෙන් එකෙන් බැහැපු ගමන් රෙද්ද උස්සලා බලන රේගු නිලධාරි කියනවා මේකගේ පච්චෙ අප්සෙට් !!! රටේ සංස්කෘතියට හොද නෑ කියලා, ඇතුලට යන්න ඕනෙනම් කරුණු කාරනා සලකන්න සන්තෝසම් ඕනෙයි කියලා. පිට රට වල එවුන් ලංකාවට එන්නේ ඉන්ටනෙට් එකේ හෙලුවෙන් ඉන්න සීගිරි ලලනාවොයි තැඹිලි කුරුම්බයි, අලි මී හරක් වගේ එවුනුයි බලලානේ. ලාංකාව කියල අපේ සංස්කෘතිය කියල රජයෙන්ම පෙන්නන්නේ නොදියුණු ම්ලේච්ඡයි වගේ පේන මිනිස්සු ටිකක් ගස් වටේට යක් මූණු දාගෙන ගිනි කකා තප්පුලන, අන්තංපුර ලදුන් මහ මූදේ රාග කෝපයෙන් කැළඹිලා නටන අනංග රැගුම්, මී හරක් රංචු, තේ කඩන දුප්පත් ගෑණු, හා දුක්බර කර්කෂ ජීවිත ගෙවන තැඹිලි වෙලෙන්දොයි, හොරට පාරේ නටන උඩරට නැට්ටුවෝ වගේ ඒවනේ. ඉතිං මෙහෙට එන බොහෝ ආයෝජකයෝ එක පාරට විශ්වාස කරන්නේ නැහැ මේ රටේ කාර්මික දැනුවත්කමක් තියෙන උගත් කමක් හැකියාවක් සංහිදියාවක් තියෙන නූතන ගෝලීය රටාවට මැනවින් මුහුණ දිය හැකි හැකියාවක් ඇති, ආර්තික සමත්කම් ඇති, සංස්කෘතික වෙනස්කම් වටහාගැනීමට තරම් බුද්ධිමත්, සාක්ෂරතාවයෙන් හා ඉංග්‍රීසි දැනුමෙන් පිරිපින්, විදිමත් පාසැල් අධ්‍යාපනයක් ලබන එවුන් ලංකාවේ ඉන්නව කියල. Google එකේ තැඹිලි ගෙඩියක ගාන ගහපුවාම රුපියල් 20, ලංකාවෙන් සුද්දා ගන්න ගියාම රුපියල් 500. අන්තිමට මුන් සුද්දගේ ගෑනිගෙත් පස්ස මිරිකලා, සුද්දගෙ පොකට් එකටත් විදල. පිට රටවල ගිය අය දන්නවා ඒ රටක කාමරයක ගාන. ඒ වගේම ඒ රටක සංචාරකයෙකුට ලැබෙන ආස්වාදය හා රුකවරණය. වැඩි දුර යන්න ඕනේ නැහැ - සිංගප්පූරුවට, මැලේසියාවට, ඉන්දුනීසියාවට, තායිලන්තෙට ගියාම ඇති. අද ලෝකේ වැඩිම කාමර මිල ගණන් යන්නේ ලංකාවේ හෝටල් වල. ඉතිං fun එකක් අරන් ආතල් එකක් දාලා ආයෝජන පාරක් බලන්න එන සුද්දට වෙන්නේ මීටිමකට ගිහින් O/L වත් පාස් නැති තකතීරු දේශපාලන ගොන් බිජ්ජෙක් ගොත ගගහ කියන අග මුල නොගැලපෙන බොරු ඉංග්‍රිසි ටිකක් අහල - හිස් අතින් හැරිලා පන්සලකට ගිහින් ආයෙත් පච්චෙට පොලිසියකින් දඩකාලා මග ඉන්න තවත් වංචාකාරයෙකුට අහුවෙලා ගෙදර යන්න. මම දන්න අදුරන ජ්‍යෙෂ්ට ඉංජිනේරු පුරවැසියෝ කීප දෙනෙක් ඔවුන්ගේ මිතුරු ආයෝජකයෝ ලංකාවට එක්කන් ඇවිත් මේ වගේ හෝ සමාන අමිහිරි අත්දැකීම ලබලා ඔවුන් මැලේසියාව, පිලිපීනය, වියට්නාමය වගේ රටවල් වලට ගියා. විහිලුවෙන් වගේ කිව්වට මෙතන තියෙන ගැඹුරු යතාර්ථය තමයි - ගෝලීය කරනය ඉදිරියේ ආයෝජකයන්ට අනික් රටවල් වලට සාපේක්ෂව ලංකාවෙන් ලබාදෙන සහන වටිනාකම් පහසුකම් හා දිරීදීමනා මොනවද කියන එක. ලංකාවෙවත් එකෙක් අතහොදන්න කියල පැණියක් කඩන්නේ නැති බව දන්න අපි අයෝජකයෝ සතුටු කරන්න මොනවද කෙරෙන්න ඕනේ කියන එක අදුනගන්න තවත් බැරිවුනා කියනවනම් ඊට වඩා විහුලුවක් තව නැහැ.

අනිත් දරුණුම කාරණාව තමයි අපේ විදුලි බිල. ඊයේ බාබර් අයියාත් එයාගේ චාජ් එක 50% කින් විතරම වැඩි කරගෙන. ඉස්සර පන්නල සැලූන් එකෙන් මම හෙයාර් කට් එකයි shave එකයි ලාබෙට කරගන්නේ රුපියල් 120 කට වගේ සහනදායී මිතුරු මුදලකට. දැන් අයියටත් ඒක කරගන්න බැරුව රුපියල් 180 ක් ගන්නවා අහක බලන් වගේ. ඉතින් මේ බිල් වැඩිවුනාට පඩි වැඩි වෙන්නේ නෑනේ. මේකේ දරුණුම ආදිනව ගොඩක් අය දකින්නේ නැහැ. ගොඩක් factories – peak hours වල production නවත්තනවා. ලංකාවේ අඩුවෙන්ම සිද්ද වෙන දේ තමයි නිශ්පාදනය. ඇත්තටම හැම ආයතනයකටම ගොලිය තරගකාරීත්වය හමුවේ නිශ්පාදන පිරිවැය වැඩිවීමත් එක්ක තරගකාරීව වෙලදපොලේ රැදී සිටීම අපහසුයි. ලංකවේ දැනටත් තියෙන්නේ නිශ්පාදන කර්මාන්තයක් විදියට ඇගලුම් විතරයි මහා පරිමාණයෙන්. ඉතින් විදුලි බිල 25% කින් වැඩි වුනා කියන්නේ නිශ්පාදන පිරිවැය 25% වැඩි වුනා වගෙයි කියන එක. මොකද මේ නිශ්පාදන ව්‍යවසායකයන් තමුන්ගේ නිශ්පාදන වියදමෙන් වැඩි හරියක් ගෙවන්නේ ඉන්ධන හා විදුලි බිලට වෙන නිසා. මේක කොම්පියුටර් මුදුකාංග අංශයටත් එහෙමයි.

තවත් ලියන්න ගියොත් මේක මට face book එකට ඔබාගන්න බැරි වෙනවා. මම අපේ ජනාපතිතුමාගෙන් අවාසන වශයෙන් ඉල්ලන්නේ - රටේ නීතිය හරියට හැම තැනම එක වගේ ක්‍රියාත්මක කරවන්න, ලෝභ නැතුව අධ්‍යාපනයට වියදම් කරලා, අනාගත පරම්පරාවටවත් නීතිගරුකව, ස්වාධීනව, සංස්කෘතික හා ආගමික වෙනස්කම් දරාගෙන ආත්ම අභිමානෙන් ජීවත් වෙන්න අවශ්‍ය වන ආකල්ප පිහුටුවන අධ්‍යාපන ක්‍රමයක් බවට අපේ පාසැල් අධ්‍යාපනය දියුණු කරන්න, දැනට ජීවත් වෙන පරම්පරාව වෙනුවෙන් ආයතනගත හා දේශපාලූවා කේන්ද්‍රවුන වංචා දූෂණ නාස්ති අනග රැගුම් අනවශ්‍ය ප්‍රදර්ශනය නවත්තලා, පිරිමැහීමෙන් වියදම් අඩු කරලා, අපිට ලයිට් බිල විතරක්වත් තිබ්බ මට්ටමට ගෙනත් දෙන්න. ඇත්තටම ඔබතුමත් දන්නවා ඇති යුද්ධෙ දිනුවට පස්සේ දේශපාලනංඥයන්ට ඇර වෙන කාටවත් තාම සහනයක් දෙන්න බැරි වෙච්ච බව. ඉතිං මම මේ කියන දේවල් ටික අමාරුවෙන් හරි හිත හදාගෙන කලොත් මත්තලටයි හම්බන්තොටටයි සිංගප්පූරුව අභිබවා යන්න වැඩි කාලයක් යන එකක් නැහැ. එතකොට බේබිලා වරාය ලගම හදන හෝටල් ටිකටත් හොදයි. අපිටත් පුරුදු ගානට කොන්ඩේ කපාගන්න පුලුවන්.

No comments: