Translate

Friday, March 27, 2015

2013 September 11 - බාප්පගේ බණ




පහුගිය සෙනසුරාදා බාප්පගේ බණ සහ දානේ. තුන් මාසයක් ගහින් - දැනුනෙත් නැහැ. ඉතිං සාම්ප්‍රදායික අපේ ගමේ තාමත් ආඩම්බරයෙන් කෙරෙන දෙයක් තමයි - ගෙදර දොර බාරදූර ආගමික කටයුත්තකදී ගමේ හැමෝම එකතු වෙලා ඒ අයගේ උපරිම ශ්‍රමදායකත්වයෙන් කටයුත්තට දායක වෙන එක. ඉතිං කුලියට කෝකියොත් සෙට් කරන් ගමේ හැමෝගෙම නොමසුරු සහයෝගෙන් දානයේ වැඩ කටයුතු ලක ලෑස්ති කෙරෙන්නේ හරිම ශ්‍රද්ධාවෙන් වගේම විනෝදෙන්. මේ වැඩේට දවස් දෙක තුනකට කලින් ඉදන් අසල්වැසි හිතවතුන් අපේ ගෙදර. තාත්තත් පැන්ෂන් අම්මත් ගෙදර - ගමේ සම වයසේ අසල් වැසි හිටපු හිතවුතුන් පුතාගේ ගෙදර ඉදන් දුවගේ ගෙදර ඉදන් කලින්ම එන්නේ දැන් ගමේ සම්ප්‍රදායක් වෙලා තියෙන - උත්සව සාමුහිකත්වය වෙනුවෙන් තමුන්ගේ අවංක දායකත්වය දෙන අරමුණින් දවසක් දෙකක් අහල පහල නැවතිලා සියලු දෙනා එකට එකතු වෙලා දුක් කම් කොටෙලු මොහොතකට අමතක කරලා, පූණ්‍යවන්ත වැඩකටත් අත ගහලා යන්න. මේක ඇත්තටම හරිම සුන්දර දසුනක්. කොළඹින් හා ගමට පිටින් එන මහත්තුරු මවිතයට පත්වෙන්නේ තාමත් ග්‍රාමීය සාමූහිකත්වය කියලා දෙයක් දකින්න අපේ ගම් පියසේ රැකිලා තියෙනවා කියන නිසා. ඒක බොහොම ආඩම්බර වෙන්න පුලුවන් කාරණයක් අපේ ගම ගැන. ඒ වගේම මේ අය හැමෝම වෙනස් විවිධ මතිමතාන්දර දැරුවත් - මේ කටයුතු වලදි සම්භන්ධ වෙන්නේ එකම පවුලක සාමාජිකයෝ වගේ. හට් ගහන්න බඩු ගේන්න බඩු බාන්න - පිරිස ඕනේ තරම්. විට වට්ටිය, රස කැවිලි තේ සංග්‍රහ ආදියෙනුත් අඩුවක් නැහැ. මල් කඩන්න, පන්සල් යන්න, හාමුදුරුවෝ කැන්දන් එන්න, හාමුදුරුවන්ගේ කැහි පඩික්කම් අදින්න, පිඟන් හෝදන්න කෑම බෙදන්න, දවස් දෙක තුනක වෙලේ ඉදන් කෑම උයන්න - මේ පිරිවර දායක වෙන්නේ තමුන්ගේ ගෙදර කියලා හිතාගෙනම තමා. ඉතිං මේ පුරුද්ද අපේ ගෙදර මූලිකවත් - ඒ අවට නිවාස වලටත් ගමේ සම්ප්‍රදායක් වෙලා තියෙන්නේ මට මතක විදියට අපි කුඩා කාලේ ඉදන්මයි. ඉතිං දැන්නම් අපේ ගමේ අයට දුර බැහැර ඉදන් එන මගේ ක්‍රීඩාශීලි විනෝදකාමී මිතුරු කැලත් අමුතු දසුනක් නෙමෙයි. හැමෝම ලෙන්ගතු කමින් පිළි අරගෙන බොහොම උපරිමේට සංග්‍රහ කරලා තමයි - මේ ගොල්ලන්වත් ගමෙන් පිටමන් කරන්නේ. කැම්පස් යන කාලේ දාන මාන වලට වැඩම කරපු යාලුවෝ මුට්ටිත් කාලා, ඇතිලිත් සුද්දකරලා, මදු විතත් හොරෙන් සප්පායන් වෙලා, මේ පිංකම් වල බොහොම හොද නමක් තියලා තියෙන නිසා - මගේ මිතුරන් ආවොත් කියලත්, කලින්ම විශේෂයෙන් සූදානම් වෙන්න දැන් අපේ ගමේ උදවිය දැනුවත්.
බෝපිටිය පරණ පන්සල, ගල උඩ පන්සල, පල්ලේගම පන්සල, එළිබිච්චිය පන්සල, කන්දේ පන්සල මේ හැම පන්සලට අපි දායක වෙලා දන්න කාලේ ඉදම්ම තමයි. ඉස්සර නම් සමහර පන්සල් මල්වතු අස්ගිරි පාර්ශවයේ, සමහර ඒවා මල්වතු මහා විහාර, සමහර ඒවා සියම් නිකාය, සමහර එව්වා රාමඥ නිකායේ. හැබැයි දැන්නම් මේ විභෙදනයකින් තොරව සංඝයා වහන්සේත් දාන මාන පිංකම් වලට වඩිනවා. ඇත්තටම කියන්න ආඩම්බරයි මේ අතර ඉතාම සිල්වත් ස්වමින් වහන්සේලාත් ඉන්නවා. සිගරැට් විතරක් බොන අනික් කිසිම සීලයක් නොකඩන ගරුතර ස්වාමින් වහන්සේලා, මස්මාංස නොවලඳන ස්වාමින් වහන්සේලා, ඉස්සර ස්ත්‍රී මායමට අහුවෙලා පස්සේ වයසත් සමඟ ඉඳුරන් දමනය කරපු ගරුතර ස්වාමින් වහන්සේලා, මස් මාංස වළඳන සාමනේර හිමිවරු සහ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දැඩි විනයධර TV Mobile Phone ආදියවත් වළඳන්නේ නැති ඉතා ගරුතර ආරණ්‍ය ස්වාමින් වහන්සේලා - මේ පිරිස, කවුරු කොහොම විවේචනය කරත්, මටනම් අවංකවම භක්තියක් දනවන උදවිය. ඉතිං ගම්මු විදියට අපි හරිම වාසනාවන්තයි මේ පන්සල් පහක ඇසුර කුඩා කල හිටන් ලැබීමට. කවුරු හරි මෙතනත් කියන්න පුලුවන් ලේඛකයා ආගමට ගරහලා කියලා. නමුත් මේ විවිධත්වය මම හිතන්නේ එදාත් සංඝ ශාසනය තුල තියෙන්න ඇති. බෞද්ධයාගේ වැඩේ වෙන්න ඕනේ මේ විවිධත්වයට හේතු හොයනවාට වඩා තමුන් තමුන් විසින් නිවැරදි වෙලා තමුන්ගේ ආත්මේ මේ ආත්මෙම පුලුවන්නම් මහන්සිවෙලා ගොඩදාගන්න එක තමා කියලා අපේ පොඩි හාමුදුරුවොත් බණට කිව්වා. මේ දනට වඩින සෑම ස්වාමින් වහන්සේ නමක්ම මගේ ගෞරවය දිනාගත්තේ ඔවුන් සමග විසි තිස් වසරක් තිස්සේ තිබ්බ ඇසුර නිසාම විතරක් නෙමෙයි - ඔවුන්ගෙන් ජීවන දර්ශනයක් සහ ජීවත සැනසීමක් ලබන්න යම් පෙරහුරුවකුත් ගමට ලැබුන නිසා. හැබැයි මට පොඩි විශේෂ ඇල්මක් තියෙනවා කන්දේ පන්සලේ ගරුකටයුතු ස්වාමින් වහන්සේ ගැන. මේ පන්සලට මාව බැහැ දකින්න එන විනෝදකාමී මිතුරනුත් ගොඩක් වෙලාවට මම කන්දට දක්කන් යනවා.
කන්දේ පන්සලේ ස්වාමින් වහන්සේ ගෘහස්ථ දාන මාන පාංසකූල කටයුතු වලට දායක වෙන ගතිය අඩුයි ආරණය හිමිනමක් නිසා. උන් වහන්සේ සිව්පසය පසෙකලා සසර එතෙර වීම සඳහා ව්‍යායාම කරන ආරණ්‍යවාසී සිල්වත් නමක් නිසාම - සමාජීය කටයුතු වලට එතරම් ඇල්මක් දක්වන්නේ නැහැ. නමුත් මේ ස්වාමින්වහන්සේගේ ධර්ම දැනුම, ධර්ම කථිකත්වය බුද්ධිමතුන්ගේ ප්‍රසාදයටත් මවිතයටත් හේතු වෙලා - උන්වහන්සේගේ ධර්ම ඇසුරු කරන්න සෑහෙන පිරිවරක් දුර බැහැර ඉදන් වහාරස්ථානයට යන එන වග දන්නේ මගේත් පන්සල සමඟ සමීප ඇසුර නිසාමයි. බාප්පාගේ දානය අරන් මම උදේ පාන්දරම කන්ද පන්සලට ගියේ හරිම උනන්දුවෙන් තමයි. ගමේ අසල්වැසි බන්දු හිත මිත්‍රාදීන් අපේ ගෙදරට වෙලා රෑ නිදි මරන් පිළියෙල කල දානයේ අග්‍ර කොටස අරන්, ගේළඟම මල්ලි කෙනෙකුත් එක්ක උදේම පන්සලට ගියාම - ආපු ආරංචිය මාව මොඩ ප්‍රකෝපයකට පත් කළා. අපි හැමෝම දන්නවා සුදු හදුන් කියන්නේ දුර්ලභ ශාකයක්. මේ සුදුහදුන් ගස් අපේ ගමේත් තැන තැන තිබ්බා. මගේ මිතුරන්ගේ නිවාසවලත් තිබ්බා. මම දන්නවා - මේ ගස් ගැන එක කතන්දරයක්. ඒ තමා මේ ගස් තිබ්බොත් යම් යම් පිරිස් ඇවිත් ඒවා ඉහල මිලට මිලදී ගන්න හදනවා. මිලට ගන්න බැරි වුනොත් මුන් හොරෙන් හරි ගහ කපාගෙන යනවා. මේ වැඩේ මගේ මතුරන් කිහිප පලකටත් මීට කලින් වෙලා තිබුන විත්තිය මම දැනන් හිටපු නිසා, මට මතකයි අපි හරි අමාරුවෙන් තමයි කපපු ගස් වෙනුවට නැවත හිටවන්න වෙනත් පැල හොයාගත්තේ. ඉතිං අපේ ගමේත් තවත් එක සුදු හදුන් ගහක් හොරෙන් කපලා ගෙදර මිනිස්සු බලන් ඉන්නකොටම. රෑට ඇවිත් තර්ජනය කරලා. මේ සුදු හදුන් ගහ මිලට ගන්න කරන තර්ජනයෙන් බේරෙන්න බැරි තැන මේ මිනිස්සු පොලිසිටත් කීප විටක් පැමිණිලි කරලා තිබුනේ. නමුත් නීතියක් නැති රටේ මෙච්චර මිනී මරණකොට සුදු හඳුන් ගහත් ගහත්ද කියලා - සුඳු හදුන් ගහ කපලා දාලා කෑල්ලකුත් අරන් ගිහින්. පැමිණිල්ල කියන මේ උපාසක මහත්තයා1992 අවුරුද්දේ තමයි පැලේ ගෙනත් හිටෝගෙන තියෙන්නේ. එතුමා හරිම වේදනාවෙන් මේ කතාව ගම පුරා කිය කිය යනවා. ගහක් හිටොපු අයෙක් විතරයි දන්නේ ගහක් හැදෙන්න කොච්චර කල් යනවද, ගහක් හදාගන්න කොච්චර කල් බලාපොරොත්තු තියාගෙන බලා කියා ගන්න ඕනෙද කියල. ඒ වගේම හැදෙන ගහ දැකීමෙන් ලබන තෘප්තිය දන්නෙත් ගස් හිටවන අය මිසක් කපන අය නෙමෙයි. ඒ වගේම තමුන් හිටෝපු ගහක් - පලක් ප්‍රයෝජනයක් අමතක කරලා නිකරුණෙ තරහට කපලා දාලා දැක්කාම එන්නේ පුදුමාකාර දුකක්. මේ පුවතත් එක්ක කම්පනය වෙච්ච මගේ කැළඹුන හිත හාමුදුරුවන්ගේ කටයුතු අහවර වෙනකලුත් සන්සුන් වෙලා නැහැ. ඉතිං ස්වාමින් වහන්සේ මේක දැකලා - ධර්ම දේශනාවක් කළා මේ ගහ ගැන.
හාමුදුරුවෝ කියනවා - හොරකම පැත්තක දාන්නලු. මේ ගහ මගේය කියලා හිතාගෙන ඉන්න එකලු ගැටලුව. මේ ගහ පැල කරපුවාම - මේ ගහ හිටෙව්වේ මමය, මේ ගහ හිටෙව්වේ මගේ වත්තේය කියලා හිතන් අයිතිය කියන්න යන එකලු ගැටලුව. හාමුදුරුවෝ අහනවා - ගහට අයිතියක් කියන්න හිටවපු මිනිහට තියෙන අයිතිය මොකක්ද කියලා. හාමුදුරුවෝ අහනවා - ඒ මනුස්සයා නැතත් ගහ හැදෙන්නේ නැද්ද කියලා. මේකට මාත් එක්ක ආපු මල්ලිට මල පැනලා. මට හාමුදුරුවෝ ඉස්මතු කරන්න හදන දහම් අර්ථය වැටහුනත් - අපේ ගමේ අය මේ හාමුදුරුවෝ මල ගෙවල් වලට පැන් වඩන්න වඩින්න නැහැයි කියලා තරහෙන් සිටින නිසා, මේ දේශනාවටනම් බොදු ගල් පාරවලුත් දෙන්න පෙළඹෙයි කියලා හිතුන නිසාත් - මම කිව්වා හාමුදුරුවනේ කොකටත් ඇත්ත දේශනා නොකර ඉන්න, නැත්නම් අපේ බොදු බැතිමතුන්, ස්වාමින් වහන්සේ හොරුන් දිරිමත් කරනවා යැයි තවත් කතාවක් කියන් පුලුවන් කියලා. දැනටමත් මේ කියන ආරණ්‍ය පන්සලට හරිම තර්ජන තියෙන්නේ අවට බොදු ගල් කඩන්නන් නිසා. මේ අයට පන්සලේ හාමුදුරුවො වැඩ වසන එකත්, පන්සලේ ආවාස කුටි වලට ගල් බෝර වලින් සිදුවන හානිය ප්‍රසිද්ධවීමත් - දෙකම, ගල් කඩන ව්‍යාපාරයට තියෙන බාධක විදියට තමයි දකින්නේ. මේ අය සමහරෙක් දානෙට ඇවිත් මගෙන් අහනවා - ආහ් ! ඔය හාමුදුරුවොන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ඔය හාමුදුරුවො පාංසකූලෙකට එනවද? අනන්මනන් ප්‍රශ්ණ කෝටියක්. සිල්වත් හාමුදුරැවන්ට දොස් කියන එකනම් මටත් උහුලන්නේ නැහැ. මේ අයට ගල ඇරෙන්න ජීවත් වෙන්න වෙන දෙයක් ගැන හිතන්නවත් උවමනාවක් හා දැනුමක් නැහැ. ගල කඩන්න පටන් අරන් අවුරුදු 20 ක් විතර ඇති. මේ වේගෙන් කැඩුවොත් තව අවුරුදු 5කින් ගල නැතිවෙනවා කියලා මේ ගොල්ලෝ හිතන්නේ නැහැ. මේ පිරිස බැහැල දැන් වයඹ චන්දෙටත් වැඩ. ප්‍රභල දේශපාලන අපේක්ෂකයන්ගේ දැන්වීම් පුවරු සවි කරන්, රැස්වීම් සංවිධානය කරන් - සැදී පැහැදී සිටින්නේ, අපේ කන්ද පන්සල තියෙන ගලේ ඉතිරි වෙලා තියෙන ටික කඩන්න අවසර තහවුරු කරගන්න කියන එක නම් පැහැදිළියි. කිව්වා වගේම මේ උදවිය ජීවත් වෙන්න හුරු වෙලා මේ ගලෙන්. අනේක් ව්‍යාපාර හා ජීවන වෘත්තීන් අමතක කරලා ලාභ දායක ගල් කැඩිල්ලට අත ගහල. ප්‍රාදේශීස සභාවේ අවසර පතක් පමණයි මේ වැඩේට අවශ්‍ය. ප්‍රා දේශීය සම්පත් වලට ලාභාංශ බෙදෙන ක්‍රමය ඉතිං හැමෝම දන්නවා. ගල කඩන්න එපා කිව්වොත් - කොහොමද පවුල් ජීවත් කරවන්නේ - තවත් ගැටලුවක්. ඉතිං සංවර්ධනයත් අවශ්‍යයයි. නමුත් ගල ඉවර වෙනකම් කැඩුවොත් පන්සලත් නැහැ - වලගම්බා රජතුමා හැංගිලා හිටියැයි ජනප්‍රවාදයේ එන මාළිඟා කන්දත් නැහැ. ධර්මය පිරිහෙන කාලයක තන්හාබරිත වටපිටාවක ජීවත්වන අසරණ ලාංකිකයාට ධර්මය හා අධර්මය අතර ඇති මේ Balance එක පවත්වගෙන තව කොච්චර කල් දුවන්න පුලුවන් වෙයිද කියලා නම් මම දන්නේ නැහැ.
කොහොම හරි හාමුදුරුවෝ කියනවා - හැමෝම ගහ මගෙයි, මමයි හිටෙව්වේ - ඒ නිසා ඒක බුක්ති විදිය යුත්තේ මමයි කියලා හිතන එකලු ගැටලුව. හැමෝම එහෙම නොහිතුවනම් මේ ලෝකේ බෙදීම් ඇති වෙන්නේ නැහැලු. රටවල් නැහැලු. ජාති නැහැල්ලු. මිනිස්සුත් නැහැල්ලු. සත්තුත් නැහැල්ලු. පුදුම සැනසීමක් ඇති කැළඹීමක් නැති ශක්තීන් විදියට ලෝකාරම්භයෙදී වගේ වෙයිලු. එහෙම නොවෙන්නේ මාරයා - නිසාලු. කවදාවක්වත් ලෝකේ එහෙම බෙදීම් නවතින්නේ නෑලු. හැම දේම අයිති කරගන්න තන්නාසේ වැඩිවෙලා - මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙවී ගිහින් - අවුරුදු 10 වෙනකන් පරමායුෂ මිනිස්සුන්ගෙ අඩු වෙනවලු. එන්න එන්න ධර්මයට වඩා අධර්මයේ හැසීරීම වැඩියිලු. මම මේ කියන දේ තේරුම් ගන්නෙත් ඉතාම අල්ප පිරිසක්ලු. ගොඩක් අය ඇහුවට තේරුම් ගන්නේ නැහැලු. තේරුම් ගන්න සමහරුත් ක්‍රියා කරන්නේ අල්පවලු. ඔය සදුන් ගස් කියන ජාතිය දුබල නොවී සුලභ වුනා නම් කවුරුවත් ඕක ගන්න යන්නේ නැහැලු. මේ වටේ තියෙන ගස් දිහා බලන්නලු. බලලා හිතන්නලු මේ ගස් මම හිටෙව්වේ - මටයි අයිති කියලා, හිටෝපු පුද්ගලයා මලාට පස්සේ කපලා දැමුවොත් - අපිට මෙකක් වෙයිද කියලා ... ඉතිං ගස් හිටවන්නලු. ඒත් කවුරු ගත්තද කැපුවද නැද්ද කියලා දුක්වෙලා වෛරයෙන් ඉන්නවට වඩා මම හිටවපු ගහ හොරෙක් හරි අරන් ගිහින් ප්‍රයෝජනයක් ගත්තා කියලා සතුටු වෙන එකලු ජීවත් වෙන්න තියෙන හොදම ක්‍රමය. මේ දේවල් කෙරෙන්නේ නීතියත් නීතිය සුරකින ආයතනත් ඔක්කොම එකතු වෙලාලු. නැත්නම් කොහොමදලු පොලිසියට පැමිණිලි කරල තියෙද්දිත් බලෙන් ගස් කපලා දාන්නේ. නමුත් දහම් අර්ථය වෙනස්ලු. දහම් අර්ථය දැනගෙන හැමෝම ජීවත් වෙනවනම් පොලිසි ඕනේ නැහැල්ලු.
ඉතිං මේ දේශනාවෙන් මම උදේ පාන්දරම හිත හදාගත්තා. හීල් දානේ දීලා, පින් අනුමොදනා අහවර කරලා අපහු ගෙදෙට්ට එනකොට කට්ටිය බරටම වැඩ. දවල් දානෙට. ඉතිං දවස ඉරිදනේ. පිරිමි කට්ටියම ඇවිත්. ගෙදර දහවල් දානෙන් හාමුදුරුවරු පන්සල් වලට ආපසු වැඩැම්මුවට පස්සේ කොල්ලොන්ට ටිකක් බත් කන්නත් අමාරුයිලු. ඉතිං වැඩකරපු හැමෝගෙම සිත් සතුටු කරන්නත් එපැයැ. ආහාර ජීර්ණය පහසු කරවන දෙහි මුසු පානයක් ටිකක් ලාවට කට්ටියට තේ හැන්දකට දාලා බෙදා ගන්න දුන්නා අල්ලපු ගෙදරක, ඉල්ලලා බේරෙන්න බැරිම තැන. ඇත්තටම පොඩි Lemon Gin - Cock Tail එකක් තමයි දුන්නේ. ඒකත් යන්තම්. අරිෂ්ඨ කියන්නේ පට්ට ඇල්කොහොල්. සමහර අරිෂ්ඨ පරම්පරා ගනන් පල් කරලා පෙරලා ගන්නේ. මේවාට කංසා අබිං අනන් මනං ඔක්කොම දානවා. හැබැයි ඒ අරිෂ්ඨනේ. අපේ ගමේ ගෑණු දන්න Cock Tail. ගමේ ගෑණු උදවිය හිතන්නේ අමුතු සුරාවක් කියලා. ඟද නැහැල්ලු. හොරෙන් මිනිස්සු ටික බීලද කොහෙදලු. විනාඩියට දෙකට බීලලු. බත් කෑවත් අවුන්සයක් දෙකක් ඇල්කොහොල්නේ. සිත් සතුටු වෙනවනවනම් මිනිස්සුන්ගේ ආහාර රුචිය වැඩි වෙනවනම් - සිහිය විකල්වීමක් හෝ ශාරිරික හානියක් නැත්නම්, කෑමකට පෙර මෘදු පානයක් ගත්තට වැරැද්දක් නැහැ මගේ හිතේ. අපේත් පුදුම ආකල්ප. ගංවල ගොඩක් මිනිස්සු ගොඩක් හාමුදුරුවරු - විටට ඇබ්බැහි වෙලා. ඇත්තම කිව්වොත් ඇබ්බැහිය විටට නෙමෙයි. ඇබ්බැහිය තියෙන්නේ දුන්කොල මතට. හැබැයි විට කාලා පිලිකා හදාගත්තට අවුලක් නැහැ. විට කාලා මත් වෙලා දවසම හිටියත් බනින්නේ නැහැ. බීලා නෙමෙයිනේ. ඒ වගේම තමයි සමරු කරන්න තියෙන වල්කම් කුප්පකම් ඔක්කොම කොරනවා. කවුරුහරි මිනිහෙක් නැත්නම් පිරිසක් කාටවත් කරදරයකින් තොරව විනෝදෙන් ඉන්නවානම් සතුටින් මොකක් හරි කරනවානම් මේ ගොල්ලන්ගේ ඇස් වල කටු අනිනවා වගේ. ඉතිං බලන් ඉන්නේ හොයන්නේ හැම දේටම බනින්න. නොබොනවට වඩා මම බොන්නේ නෑ කියලා පොර වෙන්න. මේ පොරසිටි එකත් ලංකාවේ සමාජීය ලක්ෂණයක් කියල කවුද කලාකරුවෙකුත් ලඟදි කියලා තිබ්බා. බනින්න බනින්න පිරිහෙනවා. මේවා පෞරෂයන් සතු දුර්වලතා. ඒක නිසා ඒවාට උත්තර බදින්න යන එක අණුවන කමක්. හැබැයි අනිත් අතට හොද වැඩක් කරලා බැනුන් අහන්නත් කවුරු හරි ඉතිරි කරන්න ඕනේ. ඒ කොටස හැමදාම වගේ මම භාර ගන්නනවා. නැත්නම් ඒ වැඩේ ගැන මිහිරි මතකයක් නැහැනේ.

No comments: