Translate

Friday, March 27, 2015

2013 September 28 - පරිසරය තමයි හොදම ගුරා



අපේ ජීවිතේ ගොඩක් පාඩම් අපි ඉගෙනගන්නේ පරිසරයෙන්. අපි ජීවත් වෙන Environment එක වෙනස් කලොත් අපිට ටක් ගාලා change වෙන්න වෙනවා. හැබැයි මම මෙතන මේ පරිසරය කියන්නේ අපි වටේ ගහ කොල හරක බාන ගේ දොර විතරක් නෙමෙයි, අප වටකොට ගත් ආකල්පමය හා සංස්කෘතික වටපිටාවටත් එක්කලා තමයි මම පරිසරය කියලා කිව්වේ. ඉතිං change වෙන්න අමාරුනම් - නමුත් change වෙන්න ඕනේ නම් අපි අපේ පරිසරය වෙනස් කරගන්න ඕනේ. නැත්නම් - වෙනස් පරිසරයකට (වටපිටාවකට, රස්සාවකට, රටකට, etc etc) යන්න ඕනේ. යන්න බැයිනම් අපේ මනසයි ආකල්පයි එහෙම වෙනස් කරගන්න ඕනේ. එහෙමත් බැයිනම් - වයස/කාලය අපේ ආකල්ප සිතුම් පැතුම් වටපිටාව ඔක්කොම වෙනස් කරනවා. හැබැයි ඒ වෙනස අපිට හිතෙන්නේ ඉබේ කියලා. ඉතිං ඉබේට ජීවත් වෙන අය ඉබේ වෙනස් වෙනකොට ජීවිතේ වෙනස් වෙන්න - නිවැරදි වෙන්න යහපත් වෙන්න සැනසීම සතුට ලඟා කරගන්න වෙනස් මගක් අවශ්‍යයයි කියල හිතන අය ආයාසෙන් වෙනස් වෙනවා. මේ දෙගොල්ලන්ගේ වෙනස තියෙන්නේ, දෙවෙනි group එකේ යන සෙට් එක අඩුයි, හැබැයි ඒ ගොල්ලො යන ගමන ටිකක් අවබෝධයෙන් යන නිසා සැනසිලිදායක ජීවිතයක් ගෙවනවා. අනවබෝදෙන් වෙනස් වෙන අය නොයේක් හැලහැප්පීම් වලට මූන දෙමින් - සදාකාලික ගැටුම් රාමුවෙම කොටුවෙලා ඇලි ඇලි ගැටි ගැටි එක්කෝ ඔහේ නැත්නම් අසතුටෙන් හිතයට සැනසීමක් නැතිව ජීවත් වෙනවා. හැබැයි දෙගොල්ලොම වයසට යනවා. වයසට යනකොට දෙගොල්ලොම ශාරීරිකව දුර්වල වෙනවා. ශාරීරිකව දුර්වල වෙනකොට - මනසත් අධෛරයට පත්වෙනවා. ඒ අධෛරයත් එක්ක සමහරු ජීවිතේ අවසන් කාලයේ පසුතැවීමෙන් ගෙවනවා. බොහෝම සුලු අල්පතරයක් නැව ගිලුනත් බෑන් චූන් - සතුටෙන් මැරෙනවා.

ඉතිං මොකක්ද මේ ජීවිතේ. මොකක්ද ජීවත් වෙන්න හරි විදිය. හරි විදිය මොකක්ද කියලා මම දන්නේ නැතත් මගේ X වෙනි අවුරුද්ද වෙද්දී මම ලබපු අත්දැකීම් ටිකක් තියෙනවා - සමහරවිට අපි හැමෝටම වටියි කියලා හිතුනා. පහුගිය සතියේ දවසක මම ගෙදර ඉදන් එනකොට අමුතු දෙයක් දැක්කා. අපේ ගෙදර යන එන අය දකිනවා - අපේ ගේ ඉස්සරහ තියෙන තරමක් විශාල අලංකාර පොකුණ. මේක අවට කුඹුක් නා පුවක් කොකුම් උණ දෙල් කරත්ත කොළඹ සදුන් මඩු දොඹ වැටකෙයා ගස් ගොන්න වගේම මට්ටම් කරලා කපලා තියෙන තණකොල පිට්ටනියත් ගෙදරට එකතු කරන්නේ අමුතු සිසිලසක් වගේම ලස්සනක්. අපේ ගෙදරට එන පාර වැටිලා තියෙන්නෙත් මේ පොකුණ අයිනෙන්. ඉතිං - පොකුණේ ඉන්න ඉදිඹු පැටව් ගාන ගෙඹි පැටව් ගාන තිත්ත පැටව් ගාන මගුරො පැටව් ලූල් පැටව් ගාණත් දන්න මට වැඩට එන්න කලින් - ඇඳුනුත් ඇදන්, පුවක් ගාල අස්සට මුත්‍රා කරන්න ගියාම දැක්කේ අමුතු දෙයක්. යකෝ මේකට මම ඕලු විතරයි ගෙනත් හිටෝල තියෙන්නේ - කවුද බොලේ නිල් මානෙල් පැලයක් මේකට ගෙනත් දාලා. පුවක් ගාල අස්සෙන් එනකොට ඈත රොබට් නැන්ද යනවා දැක්කා. ආහ් - මහත්තයෝ, ඔන්න මම මානෙල් පැලයක් ගෙනල්ලා - පොකුණට දැම්මා. වැවේ නෙලුම් පැල ගලවගන්න අමාරුයිනේ. පුතේ දැන් අපි වයසයි. මට 75 ත් පැනලා මගේ හිතේ. තාමත් මේ හරක් බලන්න යනවා. දොස්තර මහත්තය කියලා තියෙන්නේ වැඩ කරන්න එපා කියලා. පුතා හරක් බැදලා එනවා. එතකොට ඌ නිකමට හිතනවා නේද - අම්මට හාල් ටිකක් ලිපේ තියන්න බැරි වුනා නේද කියලා - මහත්තයෝ. අපි කොහොමද වැඩ නොකර ඉන්නේ. පුතාට මතක නැතුවත් ඇති - අපි ඉපදුන දා ඉදන් කොච්චර කුඹුරු වල, වැඩට ගොයම් කපන්න හරක් බදින්න මහන්සි වුනාද කියලා. දොස්තර මහත්තුරු කියනවා අපි මහන්සි වෙලා වැඩියි කියලා. රොබට් නැන්දගේ කතාව ලංකාවේ බහුතර අම්මෙක්ගෙම තියෙන දරු සෙනෙහස ගැන Universal කතාවක්. ඉතිං මම නිහඩව රොබට් නැන්දගේ දුකයි, ඇඟ පත රුදාව වේදනාව ගැනයි - නීල් අයියා; එයාගේ පුතා ගැන තියෙන දරු සෙනෙහසයි ගැන කියන කතාව අහගෙන හිටියා - යන්න ටිකක් පරක්කු වුනත් කමක් නැහැ කියලා. නීල් අයියා අපේ ගෙදර කෙනෙක් වගේ. එයාට වයස 50 ට කිට්ටුයි. උස මහත කම්මැලි නැති නීල් අයියා අවිවාහකයි. එයා ඉස්සර අවුරුදු විස්සකට විතර කලින් ගමේම හිටපු ඇත්තටම හැන්සම් කොල්ලෙක්.
ඒත් එක්කම මගේ මතකය අපේ අතීතයට දිව ගියා. මම මේ පොකුණ කපන්න පටන් ගත්තේ අට වසරේ ඉදන්. O/L විබාගේ ඉවරවුන ගමන් Full time වල කැපුවා - A/L ටියුෂන් පන්ති යන්න ඉස්කෝලේ පටන්ගන්න කන් සල්ලි හොයාගන්න බැරි වෙච්ච නිසා. ඒ කාලේ මගේ හීනය වුනේ ගේ ඉස්සරහ තියෙන අලි ඇත්තු වැහෙන තරමට කැලේ තිබිච්ච කුඹුරු ලියැද්ද කපලා - විශාල පොකුණක් හදලා අපේ වත්ත මැදින් යන ඇලේ හිටපු මැහි තෙල් නිසා වඳවීගෙන යන ලූල්ලු තිත්තයො පෙතියෝ මඟුරො අන්කුට්ටො කනයි කාවයියෝ මේකට අල්ලලා දාලා - පොකුණට බෝට්ටුවකුත් දාගන්න. අපේ ඇලේ මාලු අල්ලන් ගිහින් - ඉස්කෝලේ ප්‍රදර්ශනයකුත් කලාද කොහෙද. අපි දියගෝව කියන ජලජ ශාකයට - මුහුදු කැකිරි කියලා මිනිස්සුන්ට ආතල් එකට කියලා, ඒකා ලංකාදීපේ ඇසුවෙමි දුටුවෙමි එකටත් දාලා තිබ්බා ඒ කාලේ. ඉතිං මේක මම කැම්පස් එකට ගිහින් ඉවර වෙනකලුත් ගෙදර එන හැමදාම වතුර හිදෙන කාල වලට කපනවා. එක එක පැතිවලින් ගසුත් ගෙනත් හිටවනවා. දැන් මේ ගස් මහා විශාල වෙලා. මල් පැල මල් ගොමු වෙලා. උණ පැල උණ පඳුරු වෙලා. මේ රොබට් නැන්දගේ මහත්තයා නැතිවුනේ මම මේ පොකූණ කපන්න ගත්ත කාලේ. රොබට් නැන්දගේ මහත්තයා - රොබට්. තාත්තා කියන්නේ රොබටා කියලා.
රොබට් කියන්නේ වෘත්තියෙන් ලොරි රියැදුරෙක්. ගමේ තිබ්බ ලොරිය දිව්වේ මුන්දැ තමයි. මුන්දා බීලා ලොරිය කන්ද උඩ නවත්තලා බැහැල එනකොට පැත්තකට ඇල වෙච්ච ලොරියටම යටවෙලා උන්දැ නැතිවුනා. රොබට් අයියා මම දකින හැම වෙලේම බීලා. ගොඩක් වෙලාවට කන්ද දිගේ විසි වෙවී තමයි එන්නේ. නැත්නම් කන්දෙන් පහලට බඩගානවා. ගමේ පොඩි වුන්ගේ වීරයා කාලයක මේ රොබට් අයියා. හැබැයි උන්දැ බීලා හැමදාම සෙල්ලම පටන් ගන්නේ 6 න් විතර පස්සේ. හරක්ගේ උම්බෑ සද්දෙත් එක්ක - ගොම්මන් කරුවලත් අරන් රොබට් අයියා ගෙදර ඇවිල්ලා කියලා දැන ගන්නේ සලාන් බලාන් ගාලා බඩු විසිකරන සද්දෙටයි, කුනුහරප කියලා කෑ ගහන සද්දෙටයි, රොබට් නැන්දයි මාමායි ගොරි වෙන සද්දෙට තමයි. මම හරි ආසයි ඉස්සර පයිට් බලන්න. අම්මලා ගේ ඇතුලට දාලා වැහුවත් - දොරට කණතියන් ඉන්නේ රොබට් මාමගේ කුණුහරප ටිකයි ගොරියෙන් කොටසකුයි අහගන්න. ඇත්තටම මම විහිලුවෙන් වගේ ලිව්වට - රොබට් මාමා බීලා හැසිරෙන්නේ තිරිසනෙක් වගේ. ගමේ හැමෝටම බනිනවා - කුණුහරපෙන්. ඉතිං අපේ ගමේ ඉස්සර ගේ වටේට බොහෝ ගෙවල් වල සිරිත මේක තමයි. ගමේ නිශ්පාදනය වන දේශිය මත්පැන් යහමින් සප්පායම් වන ගම් වැසියෝ හැන්දෑවට නර්ථනයේ යෙදෙනවා. මේ ගොල්ලො කසිප්පි තිප්පොලට යන හැටි බලන්නත් ආසයි. ඔක්කොම කජුකඩේ ලඟට හැන්දෑවට ගිහින් කම්මුලේ අත්ගහගෙන - බිම ඇගිල්ල තියාගෙන කක්ක බෙටි ගහන්න වගේ කඩ මිදුලේ ඇන තියන් කරන දේ මට ඉස්සර තේරුනේ නැහැ. මුන් බීලා ඇවිල්ලා මුලින්ම කරන්නේ ගෑනිට ගහලා ගෙදරින් ගෑනිවයි දරුවන්වයි එළවන එක. ඊට පස්සේ කරන්නේ කාලා බත් මුට්ටි පොලෙවේ ගහන එක. වෙනස් විදියට සොට් එක ගත්තු සෙට් එකකුත් හිටියා. අපේ වත්තේ අනික් කෙළවරෙන් හතෙන් පස්සේ ඇහෙන්නේ මහතුංගේ ගෙදර ඩොලැක්කි සද්දෙත් එක්ක විජයකුමාරතුංඟගේ ගීත. ඒ තමයි මහතුනුයි එයාගේ මිතුරෝ කැලැයි චූන් වෙන සද්දේ. ලුණු ගෙඩියක් කපලා, දෙහි බෑයක් එක්ක, තම්බපු මංඥොක්කා ටිකක් තියන් - පීරිසියට ලුණු ඇට දෙක තුනක් තියලා, මැටි ගාල මැදපු තාප්පේ පිල - ඉස්සරහ බූරු ඇද දාන් තමයි එතන කට්ටිය සෙට් වෙන්නේ. මට කුඩාකාලේ තේරුණේ නැහැ එතන යන සීන් එක. පස්සේ පස්සේ මේ ගොල්ලන්ගේ මායියලා රට ගියාට පස්සේ ඩිෂ්ටින් ඩිෂ්ටින් ජස්ටින් ජස්ටින් කියලා අමුතු සද්දවලට කැසට් ඇහෙන්න ගත්තා.
ඉතිං අපේ තාත්තටත් ඉස්සර මාස කීපයකට සැරයක් කඩු පයිට් එකක් පොලු පයිට් එකක් සෙට් වෙනවා. තාත්තට තේරුනේ නැහැ - කොහොමද මේ නූගත් මිනිස්සු බුද්ධිමත්ව ඩීල් කරන්නේ කියලා ඒ කාලේ. හැබැයි අපි නොදැනුවත්ව කුඩාකාලේ අණුකරණය මේ මිනිස්සු. මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට අපේ වත්තේ වැඩ කරන්නත් එනවා. මට මතකයි මට අවුරුදු 5 6 වෙනකොට රොබට් අයියා බීලා විසි කරපු බීඩි කොට පත්තු කරන් බීඩි බිලා අම්මගෙන් ගුටි කනවා. ඒ වගේම අපේ අල්ලපු ගෙදර උපුල් - අවුරුදු 7 ක් 8 ක් විතර ඇතිලු. අම්මා එක්ක තරහ වෙච්ච ගමන් ඇවිත් පොල් අතු බිත්ති වලට ගහලා ගෙට ගල් ගහලා කුණු හරපෙන් අම්මට බනිනවා. එයාගේ අම්මා - බේබි නැන්දා අහනවා, යකෝ උඹට පිස්සුද ? කුණුහරප කියන්නේ කියලා - එතකොට මූ කියනවා: “රොබට් උන්නැහැට හොදනම් මම කියපුවාම අම්මට මොකද කියලා “
ඉතිං පරිසරය කියන්නේ මිනිහෙක් හදන හෝ නසන සාධනීය සාධකයක්. මේ ගොල්ලන්ගේ ජීවිත ගොඩක් අය කෙළවර කරගත්තේ අකල් මරණ හා ඛේදනීය අනතුරු වලින්. අපේ ගමේ කාටවත් ජීවිතේ ගැන, ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන ලොකු දැක්මක් තිබ්බේ නැහැ. හැබැයි - මොකක්දෝ මන්දා, මුන්දැලගේ මායියලා නම් ගහල මරාගත්තත් කසාද ඇරන් ගියේ නැහැ. අද ඉතිං ටක් ගාලා ගොඩක් අය කසාද ඇරලා විමුක්තිය හොයාගෙන යනවා දරුවාගේ ජාතකය - ඉන්ටනැෂනල් ස්කූල් එකෙන් හංගන්. අද පරිසරය එදාට වඩා වෙනස්. ගෑනු මිනිස්සු අල්ලන් ඉන්නේ නැහැ. ටක් ගාලා අත්තෙන් අත්තට මාරු වෙනවා.
කතාව කියන්න ආවේ ඒක නෙමෙයි. එක කාලෙක රොබටා රොබට් නැන්ද නීල් අයියා - කියන්නේ අපේ පවුලේ හතුරෝ. හැබැයි මේ මිනිස්සු මගේනම් හතුරො වුනේ නැහැ කවදාවත්. ඉතිං පොල් ගෙඩිය ඇහිදින්න, පොල් අත්ත ඇදගන්න, කෙහෙල් කන කපාගන්න - සමහර වෙලාවට මේ ගොල්ලෝ වැට පැන්නත් කියලා අම්මලා තාත්තලා කියනවා. මම දැකලා නැහැ. රොබට් නැන්දා ඉස්සර යකඩ කතක්. මිනිහගෙන් ගුටි කකා, රන්ඩු වෙවී - මුන්දැ දරුවෝ හතර දෙනෙක් පොෂණය කලා බේබදු සැමියත් එක්කම. රොබට් නැන්දාට ඉස්සර වත්තේ නයි පෙන්නන් බැයිලු. නයි දැක්ක ගමන් මුන්දෑ උන්ව පරලොව යවනවා. කසිප්පු රස්සාවත් කලාලු. දැකලනම් නැහැ. යකෙක් වගේ ගමපුරා හරක් හරන් දුවනවා. මේ හරක් ලංකාවේ හරිම අඩුවෙන් දකින්න ඉන්න ජාතියක්. උන් නවසීලන්තෙන් ගෙන්නපු උන් කියලා කියන්නේ. මේ මී හරකෙක් ටොන් එකක් විතර බරයි. හරිම විශාලයි. මුන් නඩත්තු කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. හරිම දඩබ්බර - ශක්තිමත් හරක් රංචුව, නඩත්තු කරනවා කියන එකත් පිරිමි කිහිප දෙනෙක්ටත් කරන්න අපහසු රස්සාවක් කියලා දන්නේ - මම මේ සත්තු එක්ක හිතවත් නිසා.
ඉතිං එදා ජීවිතේ ජයගනන්න මහන්සි නොබලා නොනිදා වැඩ කරපු දරදඩු රොබට් නැන්දා අද මෙලෙක් වෙලා. රොබට් නැන්දා අපිත් එක්ක හිතවත් වෙන්න වුනේ එයාගේ සැමියාගේ මරණෙන් පස්සේ. ඊට පස්සේ අවිවාහක නීල් අයියා - තාත්තාගේ දරදඩු චරිතය රඟපාන්න ගත්තා. නමුත් නීල් අයියා හරක්ට ආදරෙයි. ඇත්තටම තරහ ගිය වෙලාවට පොල් පිති කැඩනකන් හරක්ට ගැහුවත් - මසට හරක් වික්කේ නැහැ. නහ විදින්න, හරකෙකුගේ ලෙඩකදි දුකකදී බේත් හේත් කරන්නේ - තමුන්ගේ දරුවෙකුට වගේ. මේ විකෘත්ති පරිසරයේ හැදුන නීල් අයියා - කෝපය සමනය කරන ක්‍රමයක් දැනං හිටියේ නැහැ. හරක් අරන් වෙහෙසට පත්වෙලා ගෙදර එන නීල් අයියා කැළඹුනු කෝපයට කෑ ගහනවා හැන්දෑ වෙනකොට. කුණුහරපත් කටින් වෑස්සෙනවා. ඒ එයා දැකපු දේ. ගම්මු නීල් අයියට හිනාවෙනවා. හැබැයි නීල් අයියා මගේ හොද හිතවතෙක්. මම දන්නනවා නීල් අයියා මස් මාලු කන්නේ නැහැ කියලා. මම දන්නවා නීල් අයියා අරක්කු බොන්නේ නැහැ කියලා. මගේ පුරුද්දක් තමයි නීල් අයියා හරක් දක්කන් යනකොට දැක්කත් නවත්තලා කතා කරලා එයා කියන එකකට බහක් දීලා භක්තියක් දීලා බයිසිකලේ යනවනං පොඩි ඩ්‍රොප් එකකුත් දීලා යන එක. මම ඉතිං නීල් අයියගේ ගෙදරටත් සමහර වෙලාවට විසිට් එකක් දානවා. දවසක් නීල් අයියා පොල්ලක් අරන් කුණුහරප කිය කිය කියා අම්මා පස්සේ පන්නනවා. මම දන්නවා මේ ගහන්න නෙමෙයි. නමුත් ආවේගය පාලනය කරගන්න බැරි නිසා කියලා. මම දන්නවා නීල් අයියා ආවේගශීලි ඇයි කියලා - මිතුරන් ඇසුරට බයවුනේ ඇයි කියලා. මේ මිනිස්සුන්ගේ ජීවිතවලට ඇත්තටම ආදරයක් ඒ වගේම දැක්මක් අහිමි වෙච්ච නිසා තමයි දරදඩුව කල් ගෙවන්නේ. නීල් අයියා කුණුහරප කියන වෙලාවට කවුරුත් ගේ පැත්තට යන්නේ නැහැ - නීලට පිස්සු, ඕකා අම්මට ගහනවා කියලා. ඇත්තටම ඒක නෙමෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබ්බා. ඉතිං මම එදා ගෙදරට ගියා. නීල් අයිය පොල්ල අරන් ඉස්සරහට එනවා. ලැජ්ජත් හිතිලා දැන්. එයාට ඕනේ එයාගේ ආවේගය පාලනය කරගන්න. දරුණු ශක්තිමත් මිනිහෙක්ව ආවේගය විසින් විනාශ කරලා දාන්නේ ඒ මනුස්සයා සතු ශක්තියට හා මුරණ්ඩු කමට නොගැලපෙන අසාදාරණ විදියට. නීල් අයියා එයාට අම්මාගේ මුරණ්ඩුකම නිසා වෙච්ච අසාදාරණය සහ අම්මත් එක්ක එකට වැඩ කිරීමේදී මත ගැටීම නිසා ඇතිවෙන අමිහිරි බව ගැන සෑහෙන වෙලාවක් කිව්වා. එයාට කෝපය පාලනය කරගන්න බැරුව - තමුන් විසින් කෝපය පාලනය කරගතයුතුයි කියන දැනුවත් කම නැතුව හිටපු කාලයක හිටියේ. අද ඒකත් වෙනස් වෙලා. නීල් අයියා දැන් කෑ ගහන්නේ නෑ.
ඉතිං කාලය ගොඩක් දේවල් වෙනස් කරලා. නීල් අයියලාගේ ඉඩම් තිබිච්ච ඒවත් ගොඩක් විකුණලා. දැන් ගේ විතරයි. නීල් අයියට ලොකු බලාපොරොත්තු නැහැ. අම්මත් එක්ක නිතරම පන්සලට යන එකත් තව තව යහපත් වෙන්නේ කොහොමද කියන එකත් ගැන තමයි එයාගේ බලාපොරොත්තුව. එදා ගහ මරාගන්න ගිය කඩු කිනිසි සටන් වලට ගිහින් හතර මායිම රැකගත්තු අපේ තාත්තත් ඔත්පලයි - එයාටත් ගොඩක් සෙල්ලන් බැහැ. දැන් ඒගොල්ලන්ට ඒ ගොල්ලො නැතුව බෑ. දාන මාන වැඩ, ගෙදර අනික් වැඩ වලට නීල් අයියා පෙරමුණ ගන්නේ අපිට කලින්. දානේ අස්සේ කොක්ටේල් ටිකක් දාගන්නත් අමාරුයි - නීල් අයියා ඉන්නකොට. රොබට් නැන්දත් බැරි බැරි ගාතේ එයාගේ දායකත්වය උපරිමෙන්. දැන් මේ ගේ ඉස්සර තියෙන වල ඒ ගොල්ලෝ ඔක්කොටම සාමය ගේන තැනක්. රොබට් නැන්දට මේ පොකුණ එයාගේ වලක් - එයා මානෙල් දාන්නේ මානෙල් කඩන් කාටහරි දවසක පන්සල් යන්න. නීල් අයියා සදුන් පැලයක් කොහෙන්ද ගෙනත් මේ පොකුණ ලඟ හිටවලා ලස්සනට කියලා. චන්දරේ පොකුණට මාලු අල්ලන් ගෙනත් දාලා.ගමේ අලුත් පරම්පරාව - බට්ටෝ ටික ඒකට පොලිතින් දාලා - පා කරලා සෙල්ලන් කරලා බලන්න.

No comments: