Translate

Saturday, March 28, 2015

2014 January 25 - බැක්වර්ඩ් කැපිටලිසම් එක



යාන්තම් කොළඹ ඝෝෂාකාරී දූවිලි පිරුණු කඨොර කර්කෂ පරිසරයෙන් මිදිලා ගමට ආවා. උදේ හයයි - ඉබේම නැගිටුනා. අමිහිරි වාහන දුමාරයයි කර්ණ කඨෝර වාහන කෝලහලයයි කුරිරු කපුටු නාදයයි පැතිරුනු දුර්ගන්ධයයි මාර්ග තදබදය වගේම දූවිල්ලත් අද ගොඩක් මාර්ගාස්‍රිත නගර වල සුලභ අත්දැකීමක්. ඉතිං තාමත් අපේ ගමේ ගෙදර උදෑසන පටන් ගන්නේ කන්කලු කුරුලු ගීතත් එක්කලා. බටිති මලිති සැළලිහිනි කොබෙයි මයින කිරල දෙමලිචි කොට්ටෝරු කවුඩු ගිරා ගීත උදෑසනම ගෙන එන්නේ හරිම පහන් හැගීමක්. ගේ ඉස්සරහ වෙල මැද්දෙන් ඉර සේවයත් පටන් ගන්න කොට මේ චමත්කාර පරිසරය මග ඇරලා කොළඹට වෙලා ගෙවන්නේ මහා අසංවේදී යාන්ත්‍රික අකාරුණික හරවත් නොවූ ජීවිතයක් නේද කියලත් හිතෙනවා. තාමත් අපේ දෙමව්පියන්ගේ කැපවීමටයි, අධිෂ්ඨානශීලි විඩාබර දර්මිෂ්ට ජීවන රටාවටයි පහිට වෙන්න කාසි යාන වාහන හඹා නොගිය නිසාම පාරම්පරිකව ආපු වතුපිටි ඉඩකඩම් ටික අපි සතුව ඉතිරි කරගත්තු එක වාසනාවක් කියලා හිතුනේ, ග්‍රාමීය හෝ නාගරික ගොඩදෙනක්ට අහිමි පිරිසිදු වතුර වරප්‍රසාදය තවමත් භුක්ති විඳින නිසයි. අපිට ළිදෙන් ඇඳන් වතුර බොන්න පුලුවන් පරිසරයක් ඉතිරිවුනේ ඒක හින්දා කියලා මම හොදටම දන්නවා. බොහෝ මාර්ඝ ආශිතව නගර ආශිතව අද අපිට පිරිසිදු ජලය පිරි ලිං දකින්න නැහැ. ඉස්සර නිල් කැට වතුර තිබ්බ නාන ළිං දැන් වියළිලා ගිහින්.

ලංකාවේ සමහර සිංහල එවුන්ට පුදුම පොස් උණක් ඇග ඇතුලෙන්ම තියෙන්නේ. මේක විහිලුවකට විනෝදයකට රසබර අවස්ථාවකට මොහොතකට සීමාවෙච්ච එකක් නෙමෙයි. ඇදුම පැළදුම ඇත්තටම අවස්ථානූකූලව හරියට කිරීම අභිබවා  අනිත්එකාට රිදෙන්න පේන්න බොරු පොස් වෙන්න පුදුම විදියට දඟලනවා. පිරිසිදුකම පීළිවෙල නැතිවුනත් පොඩි පාට් එකක් දාගන්න තියෙනවනම් ඔන්න හරි. පාරේ බැහැලා පයින් යන්න බැරිවුන් ඕන තරම්. ත්‍රී වීලර් එකක් නැත්නම් කඩේට මීටර් 100 යන්න බෑ. ශීත කරපු කෝක් එකක් බොරු සීනි දාලා ඩයි දාපු පෘට් ජූස් එකක් නැත්නම් කන්න බැහැ. ලංකාවේ හද්ද ගමේ කඩේකටත් රෑට ගියොත් බොරු පයිඩ් රයිස් කොත්තු නැත්නම් චයිනීස් විතරයි. බතක් මාලුවක් එක්ක හරි හමන් කෑම එකක් නැහැ. රෙස්ටුරන්ට් එකකට ගියොත් බොරුවට සෝස් ගාපු මාලු මිරිස්. හරිහමන් කෑමක් නැහැ. බීමබෝතල් බේත් කුප්පි වගේ වෙලා. හොද කිරි එකක් බොන්න තැනක් නැහැ. වතුර බොන්න විදියක් නැහැ - ලිං වලින් දැන් මිනිස් මල ඔයිල් ග්‍රීස් අනන් මනන් කෙමිකල් මතුවෙන්න පටන් අරන්. හැමතැනම බැට්රි කඩ - වාහන ස්පෙයාර්පාට්ස් කියලා - පරිසරයට නොයෙක් විදියට ජරාව අක්‍රමවත්ව දාලා. මේ බැට්රි වලින් අවුරුදු ගණනාවක් තිස්සේ පරිසරයට එකතුකරන මර්කරි කැඩ්මියම් තවත් අනුරාධපුරයක් පොළොන්නරුවක් ලඟදිම හදනවා. උතුරුමැද වගේම ඌව වෙල්ලස්ටත් වකුගඩු ලෙඩ ගෙයින් ගෙට එන කොට පැකැට් කරපු වතුර වෙළෙන්දොත් ගේ දොරකොඩට වතුර විකුණන්න ඇවිත්. මට මතකයි - 1993 ලෝක ජල දිනය. එදා පාසැලේදී වතුර සල්ලි වලට ගන්න වෙනවා කියද්දි අපි හිනා වුනා. ඉතිං හන්දියක් හන්දියක් ගානේ ත්‍රී වීල්. රෑ තිස්සේ පාංපිටි ගාන් නයිට් ක්ලබ් යන බයියෝ. බයිසිකලයක යන එකෙක් දකින්න නැහැ. හැමෝටම කිලෝමීටරයක් දෙකන් යන්නත් ඉන්ධන පුච්චන වාහනයක් ඕනේ වෙලා. ඉතිං අද සමාජයේ සුලභ නොයෙක් ලෙඩ රෝග - ආයුෂ කෙටි වීම, ආහාර වල පෝෂණ ගුණය අඩුවීම - මේවට වගකියාගන්නත් ඕනේ අපේ පුහු මාන්නාදික ආකල්ප කියලා මට හිතුනා. මේකට හේතුව සරල ජීවන ක්‍රමයෙන් මිදිලා විපරීත බටහිරත් නොපවතින හිතින් මවාගත් අමුතුම බටහිර පන්නයට ජීවත් වෙන්න සූදානම් වෙන පරම්පරාවක් ලංකාව තුල නිර්මාණය වෙලා. මේකට ලස්සන සිංහල වචනයකුත් හම්බවුනා - Backword Capitalism කියලා. ඉතිං ලංකාවේ එවුන්ට නොමිලේ සියවස් බාගයක් තිස්සේ ඉගැන්නුවත් ලංකාවේ අපේ පුහු ආකල්ප තාම වෙනස් වෙලානම් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.

පහුගියකාලේ අවුරුද්දට කිහිප වතාවක්ම යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය නුවරඑළිය වගේ නගරවල දමිල සංස්කෘතිය සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුනා. උන්ගෙත් තක්කඩි නැතිව නෙමෙයි. නමුත් ඔවුන්ගේ පිළිගත් සභ්‍ය සංකෘතිය තුල තාමත් පරිසරයට පරිසරහිතකාමීත්වයට පුදුමාකාර තැනක් තියෙන්නේ. සමහර වෙලාවට තෛපොංගල් උත්සවයට ගෙවල් වල මගුල් උපන්දින අනන් මනන් උත්සව වලට අමු කෙසෙල් ගස් කපලා ගෙනත් කොහෙල් කැන් එල්ලලා තැඹිලි එල්ලලා අඹකොල කොහොඹ කොල ගෙවල් වල එල්ලන් කරන දේ අපිට හාස්‍ය ජනකයි. නමුත් ඔවුන් එයින් සංකේතවත් කරන්නේ ස්වභාවික සස්ර්‍ශකත්වය කියන එක කියල මටත් වැටහුනේ බොහොම මෑතකදි. ඔවුන් ස්වභාවිකත්වය දිව්‍යමය ලෙස සලකන පිරිසක් කියලා තේරුනේ ඊටත් පස්සෙ. කොතරම් හරි හම්බ කලත් සිංහල අපි වගේ බොරු Artificial වෙන්න හදන ගතිය හරි අඩුයි. බහුතරයක් එහෙම පොස් වීමට වඩා අව්‍යාජ අවිංහිංසක ආගමික දිවි පෙවෙතක් ගෙවන්න උනන්දු වන පිරිසක් විදියට තමයි මට දැනුනේ. පිරිසිදු ජලය එන ඇලක් ළිදක් ඔවුන්ට යාපනයෙදිත් පූජනීයයි, නුවරඑළියදිත් පූජනීයයි. හොදට ගෙඩි හැදෙන කෝන් ගහක් අඹ ගහක් ඉපැරණි ගහක් කොළක්, ඔවුන්ට කොළඹදිත් පූජනීයයි, මන්නාරම පුනරින් මහා කැලෑ වලත් පූජනීයයි. ත්‍රිකුණාමලේදීත් පූජනීයයි. යුද්ධය ඉවරවෙලා අවුරුදු පහක් ආසන්න වෙලත් හන්දි හන්දි ගානේ ත්‍රීවිලර් යාපනයේ නැහැ. ඔවුන්ගේ බොහෝ පවුලේ සාමාජිකයන් බටහිර රටවල හිටියත් අරුමෝසම් රථවාහන - සංකර විලාසිතා නයිට් ක්ලබ් යාපනයට එන ගතියක් පේන්න නැහැ. ගොඩ දෙනෙක් කඩේට එන්නේ පුස්සයිකලෙන්. මෙහෙන් යන එවුන්ගේ නයට ගත්තු ලීසිං වාහන තමයි යාපනය බොරුවට ට්‍රැෆික් කරන්නේ. හන්දියෙන් හන්දිය පිහිටි කෝවිල් - බහුතරයක් බොහෝ වේලක් vegetarian ක්‍රමයට ආහාර ගන්න ගතියක් තමයි තියෙන්නේ. හරක් තැන තැන හිටියත් - ගොම් බෙට්ට කැත නැහැ. කෘෂි රසායන ඉසිමින් බොරු වැඩි පළදාව කම්මැලිකමට ලේසියෙන් ගන්න රසායනික පොහොරෙන්ම ගොවිතැන් කරන ක්‍රමයකට වඩා, ක්‍රමවත් කලමණාකරනයකින්, පූජනීයත්වයෙන් කරන ගොවිතැන් තමයි එහේ තියෙන්නේ. ඒක නිසා තාම යාපනයේ ඔච්චර ගොවිතැන් කරලත් වකුගඩු ලෙඩ්ඩු ඉස්පිරිතාලේ නැහැ. තාමත් ස්වභාවික කිරි ඕන තරම්. හැබැයි හරක් මස් මඩු නැහැ.

ධම්මො භවේ රක්කති ධම්මචාරී කියලා පාලි බෞද්ධ පාඨයක් තියෙනවා කියලත් මතක් වුනා. ඉතිං ධර්මය රකින්නා ධර්මය විසින් රකිනවා වගේම පරිසරය රකින පිරිස පරිසරයෙන් රකීවි. පරිසරය ගහකොල වටපිටාව ගැන මීට වඩා ලෙංගතුකමින් ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් දකින්න අපිට බැරිවුනොත් අපි අවටත් ජපනට ආවා වගේ මිනමාටා ලෙඩ, විකිරණ විකෘත්ති සුලභ වෙයි. ජපනා කම්මැලි නැති නිසා ඒකා මොනව කලත් අවුරුදු 100 – 120 ඉදලා තමයි යන්නේ. කොත්තු කාලා කෝක් බීලා නයිට් ක්ලබ් එකේ චූන් දාලා ත්‍රීවිල් එකේ උදරයයි ජනනේද්‍රියයි ගැන හීන දකිමින් හන්දියට එන අපේ පොස් එවුන් අවුරුදු 20 න් 30 යන්න දැනටමත් පටන් අරන්.

No comments: