Translate

Saturday, March 28, 2015

2014 September 30 - මාලිගාකන්දේ බෝධීන්වහන්සේටත් රසදිය දාල දේවදාර ගහලා




පෘතක්ජන මිනිහා කියන්නේ මහ පුදුම එකෙක්. මේකා බණ අහ අහ ඉදලා හවස්වෙනකොට ගෙදර යන්නේ තලගොයකුත් ඔතාගෙන. බෝධිපූජා තියලා තියලා පුලුවන්නම් බෝධිය ලී ඉරන්න හරි බැයි නම් දරට කපන්න හරි හිතන්නේ අන්‍යාගමිකයෝ විතරක්නම් නෙමෙයි. අපේ ගමේ තියෙනවා පන්සලක්. මේක පිහිටලා තියෙන්නේ ඉතාම රමණිය කදුමුදුන් කීපයක් අතර. පෙර රජ දවස ප්‍රාදේශීය රජුන් සතු මාලිඟා තිබුනු නිසා - මාලිඟා තැන්න, මාලිඟා කන්ද කියන නම් වලින් මේ පන්සල් ප්‍රදේශය ප්‍රසිද්ධයි. ඉතිං ඉපැරණි බෝ මලුවත් ඉපැරණි චෛත්‍ය මලුවත් කන්ද මුදුනේම පිහිටලා තිබ්බත් - පුරාවිද්‍යා අංශ විසින් මේක පුරාවිද්‍යා සංරක්ෂිතයක් ලෙස නම් කරලා නැහැ. නමුත් කන්ද නිදන් වලටත් ප්‍රසිද්දයි. කාලයේ වැලිතලාවෙන් වැහිලා තිබ්බ කන්ද - හැමදාම ගම්මුන්ගේ පුද සත්කාරයට ලක්වුනා කිව්වොත් නිවැරදියි. මේ කන්දට අද අලුත් වටිනාකමක් ඇවිත්. ඒ මේ මහා රූස්ස කලු ගල කඩන් කන්න පුලුවන් කියලා මිනිස්සු දැනගත්තු හින්දා.
කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් ගල කැඩෙනවා. ඇත්ත - රටේ සංවර්ධනයත් වෙන්න එපායැ. හැමදාම පක්ෂේ මාරු වුනාට වැඩේ මාරු වුනේ නැහැ. ඉතිං හැම දේශපාල නායකයටම ඕනේ වුනේ මේ කන්ද ආර්ථික ප්‍රතිලාභ ගන්න කඩන්න. ගල් කඩන එවුන් අවුරුදු 20 ක් තිස්සේ ගල් කඩමින් රට සංවර්ධනයට දායක වෙනවා. හැබැයි උන්ගේ ගේ දොර දරු මල්ලන්ගේ අද්‍යාපනය ගොඩක් ඉහල ගිහින් නැහැ. නමුත් මේවට සම්බන්ධ ව්‍යාපාරික මහත්තුරුන්ට දේශපාලක මහත්තුරුන්ට නම් වැරදිලා නැහැලු. ගම්මුන්ටත් ගල රැක ගන්න ලොකු උවමනාවක් නැහැ. ඒ ගොල්ලෝ පක්ෂ වලට බෙදිලානේ. ගමේ පරණ පන්සල් ඉඩම පරණ චෛත්‍ය පරණ බෝධිය කියන එක කැඩුනට - ඒක රැකගන්න සංවිදානය වෙන්න බයයි. රට රැක ගන්න ඉන්න ඇමතිතුමා හිතන්නේ මේවා කඩලා විකුණපුවාම රට සංවර්ධනය වෙනවා කියලා. හැමෝම දැනගෙන කඩන මේ ගල අවුරුදු 20 විතර තිස්සේ ඉදන් මහා පරිමාණයෙන් කඩලා දැන් පැරණි බෝ මලුව කිට්ටුවටත් ඇවිත්. තව ටික දවසයි තියෙන්නේ. ගල උඩ තිබ්බ චෛත්‍යෙය් නටබුන් ගල් වැටි ගඩොල් ඩෝසර් කරලාත් දැන් සෑහෙන කාලයක්. ඒවා මිනිස්සුන්ට නොපෙනෙන්න හංගන් ටිපර් කලා කියලා ගමේ හැමෝම දන්නවා. ජාතිවාදය අවුස්සන්න දෙයක් නැහැ. මේවා කලේ නම් අබෞද්ධයෝ නෙවෙයි.
කොහොම හරි පොඩිකාලේ ඉදන් පන්සල් ගිය එකෙක්ට ඉවසගන්න බැරි තරමට හදවත පාරණ වැඩක් දැක්කා ලඟදි. ඒත් ඉතිං ආත්මාර්ථකාමීව නොදැක්කා වගේ හිටපන් කියලා තමයි මගේ බුද්ධිය කියන්නේ. හදවතනම් පුපුරන්න වේදනාවෙන් කැකෑරෙනවා. ටෝක්ස් දීලා වැඩක් නැහැනේ - වැඩක් කරන්න බැයිනම්. පරම්පරා ගානක් පරණ බෝධින් වහන්සේ මැරිලා යන්න කියලා කවුද පිංවත්තු පිරිසක් - බෝධිය කඳ හිල් කරලා දේවදාර ගහලා - රසදිය ඔබ්බලා. ගිය ඉරිදා ඒක සුද්ධ කරලා බේත් කලත් - තව ටික දවසකින් මේ ගල් වැද්දෝ මේ බෝධිය බිමට පාත් කරන්න තමයි අර අදින්නේ. අපිට හැප්පෙන්න බැහැ - මොකද මැරෙන්න බය හින්දා නෙවෙයි. මීනී මරා ගැනිල්ල කැත හින්දා. මේක බෞද්ධ රට කියලා අපි කෑ ගැහුවට - බෞද්ධ උදවියම තමයි මේ වැඩ කරන්නේ. මේවගේ මහා පරිමාණ ව්‍යාපාර වලට කෑදර විදියට නායකත්වය දෙන අයම තමයි බෞද්ධ සංවිධාන කියල කියන එව්වට මුදල් යොදවන්නේ. මේවා රැකගන්න ඕනේද - රැක ගන්න එකේ වැදගත්කමක් තියෙයිද, කාටද රැකල බාරදෙන්නේ කියලා මට ඇත්තටම හිතාගන්න බැහැ මොකද මිනිස්සු ඒවා අගය නොකරන හින්දා. ඒක හින්දම face book දැම්මා - කවුරුහරි සමහරවිට දැනමුතුකමක් දෙයි කියලා.

No comments: