Translate

Friday, March 27, 2015

2013 July 06 - පර බස සාහිත්‍ය ගුරුතුමා



අද හවස් වරුවේ ටිකක් විවේකිව ඉන්න ඕනේ කියලා හිතලා U-Tube එකට ගිහින් මගේ ප්‍රියතම කාලයක් ගායකයා වෙච්ච Richard Marxs මහත්තයාගේ සින්දු හොයන්න ගත්තා. ඉතින් මේ ගීත අතරින් ගොඩක්ම හිත ගත්තේ - Hazard කියන ගීතයයි, Till I find You again ගීතයයි Right Here waiting for you, Endless Sumer Nights, Now and Forever, Hold on to the Nights etc etc - මටම හිතාගන්න බෑ මොකක්ද මම ආසම කියලා ... ඉතිං මට මේ බටහිර රටවල සංගීතයට හිත ගියේ කොහොමද - මේවා රසවිදින්න පුරුදු කලේ කවුද කියලා නිකන් හතුනා. අපේ ඉස්කෝලේ මම 1 වසරේ පන්තියට යනාකොට concert වලට බටහිර ගීත පුරුදු කළේ පීරිස් කියලා මහත්තයෙක්. පීරිස් සර් කියලා තමයි 1 වසරේ පන්තියෙදි කිව්වේ. පීරා කියලා තමයි 11 වසරේ පන්තියෙදි කොල්ලෝ කිව්වේ - ආදරය ගෞරවය වැඩි නිසාම. සර්ටත් ඇහෙන්න පීරා කියලා කිව්වොත් සර්රුත් ඇවිල්ලා අතින් පයින් විතරක් නෙමෙයි ඩෙස් පුටු වලිනුත් ගහල යන්නේ ඒ ආදරේටමයි.

මමනම් පීරිස් සර්ට තාමත් පීරිස් සර් කියලමයි කියන්නේ බොරුවට නෙමෙයි ඇත්තම ගෞරවයට. මේ සර් කාලයක් අපි පොඩි කාලේ පුදුම කැප කිරීමකින් වගේම ආශාවකින් තමයි ළමයිට ඉගැන්නුවේ. එක වසරේ පන්තියේදි English day Concert එකට ළමයි තොරගන්න සර් එනකොට 1987 අවුරුද්ද. ඒ දවස්වල අපිට බෝම්බ වලට මුහුණ දෙන්නේ කොහොමද කියලත් පුහුණුවක් දෙනවා පන්තිවල. මට මතක හැටියට අපිට තිබ්බේ ටීචර් විසිල් එක ගහනකොට පැන්සල කටේ ගහගෙන කන්දෙකේ ඇගිලි ගහගෙන බිම බුදියගන්න. සර් කණ්නඩි දාලා හිනා මුසු මුහුණින් ඇවිත් ඉංග්‍රීසි සිංදු කට්ටියටම කියලා දීලා ළමයින්ව තොරගන්නවා concert එකට. මමත් දන්න තරම් හයියෙන් කෑ ගහලා බොරු ඉංග්‍රීසි කියල කොහොම හරි තොරගත්තු ගොඩට වැටුනා. මේ සින්දුව John Browns ගේ Babyට හැදිච්ච බඩේ අමාරුවක් ගැන මොකක්ද හුටපටයක්. හැබැයි මේකේ වචනයකවත් තේරුම ඒ දවස්වල දැනන් හිටියේ නැහැ.

අපි 9, 10 වසරවලට එනකොට සර් 9, 10 11 ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නව. මම පොඩි කාලේ ඉදන්ම සර්ට තිබුන කැමත්තටම ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගන්න ගියා. මොකක්දෝ නිසා සර් ඉස්කෝලෙදි එන්න උගන්න එකට තිබුන ආසාව අඩු වුනාද කියලත් මට වෙලාවකට හිතුනා - මොකද මම ඉස්කෝලෙට ඇතුලු වෙද්දි ළමයින්ට උගන්නන්න තිබුන උවමනාව හා ජවය සර් වයසට යනකොට අඩුවෙලා වගේ. නමුත් මේ සර් තමයි මේ වෙනකොටත් පාසැලේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගුණාත්මක බව තියාගන්න, ළමුන් අතර ඉංර්‍ගිසියට රුචිය ඇති කරවන්න - තරඟ සමිති හා අනෙකුත් විනෝදමය ඉංග්‍රීසි වැඩ සටහන් නාට්‍ය ආදියට මූලික තැන අරන් ක්‍රියා කළේ. අපේ ගෙදර තිබුනේ පාසැලට කිලෝ මීටර් 50 කින් විතර එහා නිසාත් හවස තුන පහු වුනොත් ගෙදර යන්න පැය හතරක් පහක් බස් එකේ ගත වෙන නිසාත් මට කවදාවක්වත් පාසැලේ විශය බාහිර කටයුත්තකට සහබාගී වෙන්න වුනේ නැහැ. නමුත් මගේ මොකක්දෝ ආසාවක් නිසා - සර් බ්‍රහස්පතින්දාට කරපු ඉංග්‍රීසි සාහිත්‍ය අමතර Tuition පන්තියට ගියා 9 වසරේ ඉදන්ම. මේකේ හිටියේ අපේ පාසැලේ අල්ලපු පාසැල් වල ටිකක් නාගරික පරිසරයක හැදුන වැඩුන ළමයි. මේ ළමයින්ගේ ගොඩක් ගෙවල් වල ඒ කාලෙත් Casate / Color TV / Deck වගේ දේවල් තිබ්බා. ඉතින් සර් මේ සාහිත්‍ය පන්තියෙදි Anthology පොතේ තියෙන poems, Prose Passages, Dramas එක එක දේවල් හරිම රසවත් ලෙසත් උගන්නනවා. ඒ මදිවට කැසට් Video රෙකොඩිනුත් ගෙනත් දානවා. ඊට පස්සේ ඒවගේ අරුත, හරවත් භාවය - සාහිත්‍යමය වටිනාකම ගැන ඉතාමත් සාරගබ්‍ය විදියට සටහන් දෙනවා - උගන්නවා. මේ පන්තිය තමයි මම හිතන්නේ මම ඉස්කෝලේ යන කාලේ ගිය ආසම ඒ වගේම රසවත්ම පන්තිය. ඉතිං 9 ඉදන් 10 පන්ති වලට 11 පන්ති වලට යනකොට - නිවාඩු කාලේ තියෙන පන්තියට අනික් ළමයි, ඩෙනිම් - දිග කලිසම් අදින කොට - ඩෙක් සපත්තු Sport සපත්තු විවිධ පාවහන් දාලා , මම අර ඉස්කෝලේ කොට කලිසම, නැත්නම් තිබ්බ එකම කොට කලිසම ඇදන් - ඉස්කෝලේ දාන කලු සපත්තු දාලා සුදු මේස් දාගෙන තමයි යන්නේ. සමහර ළමයි එතකොට විහිලුත් කලා මගේ ඇදුම ගැන. නමුත් ඒ කාලේ ඉතින් ගොඩක් ඇදුම් පැළදුම් අරගෙන විලාසිතාවට යන්න ටිකක් තාත්තගේ ආර්ථිකය හයිය වුනේ නැහැ.

හැබැයි මම සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සර් කියනවා ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙනගන්නනම් - ඉංග්‍රීසි හොදට ලියන්නනම් ඉංග්‍රීසි රේඩියෝ අහන්න ඕනේ ඉංග්‍රීසි පත්තර බලන්න ඕනේ - අරකයි මේකයි කියලා. මාත් ඉතින් බාප්පගේ පරණ පොකැට් රේඩියෝ එක අරන් ඉංග්‍රීසි සින්දු - ඉංග්‍රීසි Channels අහන්න ගත්තා. ඒ දවස්වල yes fm තිබ්බා විතරයි - TNL radio එක තමයි හරියට ගෙදෙට්ට ටියුන් වෙන්නේ. මම ඉතින් හැමදාම ගෙදර ඉස්කෝලේ ඇරිලා ඇවිත් මේ රේඩියෝව ටියුන් කරගන්නවා ඉංග්‍රීසි සින්දුවක් ඇහෙන්න. හැබැයි මේ වැඩේ මොකක්ද කියලා අපේ තාත්තට තේරෙන්නේ නැහැ. විකාර සින්දු අහනවා - මූට පිස්සු හැදීගෙන එනවා. තාත්තා පොකට් රේඩියෝ එක අඩි හප්පලා පොලොවේ ගැහුවා. ඉතිං ආයෙත් පාරක් තවත් විසිකරපු පොකැට් රේඩියෝවක් ගෙනත් තාත්තා office ඇරිලා එන වෙලාව වෙනකන් විතරක් මම හොරෙන් රේඩියෝ අහ අහ හිටියා. මේකත් මාට්ටු වුනා. තාත්තා කිව්වේ - කියන දේ නාහන ගුරු ඉහලත් පල පහලත් පල. මම තෝව හදන්න හැදුවා හැදුවා - කවදාවත් හදාගන්න බැහැ කියලා. තොට වියදම් කරපුවා ඟඟට ඉනි කපනවා වගේ කියලා - කෑ ගහලා ගහලා රේඩියෝ එක විසික් කරලා දැම්මා. ඒ පාර වෙලාවට ඒක කැඩුනේ නැහැ. මම යන්තම් හංගගෙන සෑහෙන කාලයක් ඇහුවා - TNL music. ඒ කලේ මගේ ප්‍රයතම සින්දු දෙක වුනේ Till I find you again කියන එකයි - Heal the world කියන සින්දුවයි. ඒ දවස්වලා තාත්තා නිතරම හිතුවේ මම o/L වලින් කෙළවර වෙයි කියලා. ඉතිං o/L ඉවර වෙලා A/L වලට කොල්ලෝ පන්ති යන එක විලාසිතාවනේ. ඉතිං කොච්චර දැගලුවත් මාව ප්‍රතිඵල එනකන් A/L පන්ති යවන්නනම් තාත්තා එච්චර උවමනාවක් කලේ නැහැ.

මේක තමයි ගොඩක් දෙමව්පියන්ගේ ක්‍රමය. සමහර දෙමව්පියෝ කාලානුරූපව සිදුවෙන වෙනස්කම්වලට එකපාරට හුරු වෙන්න කැමති නැහැ. ගතානුගතික ක්‍රමයටම හිර වෙලා අලුත් රටාවන් ක්‍රමවේදයන් නුහුරු නිසාම - නරකයි කියලා බැහැර කරනවා. ඉතිං එහෙම කරන එකෙන් දරුවෙක්ගේ අනාගතයට වෙන පාඩුව සුලු පටු නැහැ - සමහර වෙලාවට. තාත්තා අන්තිමට ටිකක් හීලෑ වුනේ මගේ o/L ප්‍රතිඵල දැකපුවාම විතරයි. සර් මට ඉංග්‍රීසි සින්දු විශ්ලේෂණය කරන හැටි කියලා දුන්න නිසා - මමත් වාසනාවන්ත වුනා යන්තම් හරි විශ්වීය නිර්මාණ රසවිදින්න. කවුරු කොහොම කිව්වත් - ගොඩක් හොද බටහිර ඉංග්‍රීසි ගීතවල තේරුම හා අර්ථ රසය නූතන හෝ පැරණි සිංහල ගීත වල අරුත් ඉක්මවනවා මිසක් දෙවෙනි වෙන්නේ නම් නැහැ. මෑතකදි තාත්තත් එක්ක කතරගම ගියා. එහෙම යනකොට මම මේ සිංහල වගේම ඉංර්‍ගසි සින්දු කලවමේ දාගෙන ගියේ. Enya නෝනා මහත්තයාගේ May It Be කියන සින්දුවේ තේරුම මම මගේ මිත්‍රයත් එක්ක කතා කරනකොට ඒක අහගෙන හිටපු තාත්තා කියනවා තවත් ඔය English Number එකක් දාන්නකො හ් !!! කියලා.
මටත් දැන් හිනා ...

No comments: