Translate

Saturday, March 28, 2015

2014 July 5 - තාත්තා ගෙනාපූ හාවා



මට මතකයි චූටි කාලේ එක දවසක් තාත්ත රෑ වෙලා මෝටර් සයිකලේ කොහෙද ගිහින් එන කොට හා පැටියෙක් අරන් ආවා. චාලිං ආතත් බයිසිකලේ. හා පැටියා හොදටම බය වෙලා. ලයිට් එළියට ගිනිකන වැටිලා. පාර වැරදිලා. මේ හා පැටියා තියාගන්න ගෙදර එක පොරයයි. ගෙදර බල්ලෙකුත් ඉන්නවා. උගේ නම බ්‍රවුන්. බැරිම තැන තාත්තායි චාලිං ආතයි විශාල කූඩුවක් හදල මේ හා පැටියා නවත්තගත්තා. ඉතිං ලොකු වෙද්දි හා පැටියා පැනලා ගියා. ඌට කැලේ හුරු නැහැ. හා පැටියා කබරයෙකුට අහුවෙලා මම බලන් ඉන්දැද්දීම ගිලගෙන මානෙල් වලට පැන්න. එදා ලොකු වයසක් නොවුනත් මේ හාව බේරගන්න කොච්චර දැගලුවත් අන්තිමට ඒක කරගන්න බැරිවුනා. ඉතිං හාවෙක් නැතුව ඔහොම ඉන්දැද්දි වෙල් වැඩ කරන්න ගෙදර එන අබේගේ ගෙදර හාවෙක් ඉන්නවා කියලා ආරංචියක් ආවා. අබේත් එක්ක තාත්තට හොරෙන් ගිහින් රට හාවෙක් ගෙදරට ගෙනත් හංගන් හිටියා. තාත්තට මේකට හරියට තරහ ගියත් - කොහොමහරි අන්තිමට හාව ගෙදර නවත්තගත්තා. මෙයා හරි ලොකුයි. හරි දඟයි.
ඉතිං හාවා නිදාගන්නේ මගේ ඇදේ. ඌ ලගින්නේ ගෙදර පුටුව උඩ නැත්නම් පුටු සෙටි එකේ. දවසක් හාවා නැතිවෙලා. හොයනවා හොයනවා - ගම පුරා වත්ත පුරා අඩ අඩ දුවනවා. මේ හාවා ගමේ අයත් අදුනනවා. මොකද එයා බයිසිකලේ ලැගේජ් එකෙත් යන්න දන්නවානේ. බල්ලො දැක්කහම බය වෙන නිසා වැඩිය කොහෙවත් ගෙනි යන්නේ නැහැ. එතකොට නංගි පොඩි ලදරුවෙක්. ඉතිං හොයල හොයලා බැරිම තැන බලපුවාම හාව හැන්දෑවේ ඇවිත් කිසි ගානක් නැතුව නංගි හිටපු ඇදේ මෙට්ටෙ උඩට වෙලා සැපට නිදි. කොහොම කකොම හරී හාවා ටික කාලයක් යනකොට බල්ලට හුරු වුනා. හාවාට කියන්නේ කිරී කියලා. ඉතිං කිරීයි බ්‍රවුනුයි පුදුම විදියට කිරි පැණි වගේ යාලු වලො. මේ දෙන්නට දෙන්න නැතුව බැහැ. බල්ලා යන යන තැන හාවා පස්සෙන් යන්න පුරුදු වෙලා. බ්‍රවුන් ඩේටින් යනකොට කිරීත් පස්සෙන් යනවා. බ්‍රවුන්ට එයාගේ ගමේ chicks ලා දැක්කාම කිරීව අමතක වෙනවා. ඒක නිසා කිරී යන එන ගමන් ගැන අපි හරිම විපරමින් ඉන්නෙ. මොකද අනික් බල්ලෝ මේ හාවාව කන්න බලන් ඉන්නේ. ඉතිං තව දවසක් බලනකොට හාවා ආයෙත් ගෙදර නැහැ. රෑ වෙලත් හාවා එන පාටක් නැහැ. බල්ලා එක්ක පස්සේ ගිහින්. බල්ලා හාවා දාලා ඇවිත්. අන්තිමට කවුද ඇවිත් කියනවා - හාවෙක් පියබන්දුලාගේ ගෙදරට බල්ලෙක් එක්ක ආවලු.පියබන්දු හාව අල්ලලා ගෙදර තියාගත්තලු. අන්තිමට පියබන්දු හාවා දුන්නා.
මේ හාවා අවුරුදු හතක් අටකකට වැඩිය ගෙදර සාමාජිකයෙක් වෙලා හිටියා. හාවා වයසට ගිහින් නැතිවුනා. ඉතිං හා කූඩෙට එහා පැත්තේ තමයි අපි කුඩා කාලේ ගොවිතැන්. සෙල්ලන් ගෙවල්. ඔක්කොම ව්‍යාපෘති හාවට පේන්න. ගොටු කොල පාත්තියක්, මුගුණු ඇන්න වැලක් දෙකක්, නිවිති අත්තක් - හා කූඩේ ලඟ ඇනලා අපි බලන් ඉන්නවා මායා බොංචි වැල වගේ ලොකු වෙලා හා කූඩුව ලස්සනට වැහෙයි කියලා. ඊට අමතරව අපි එතන එක එක දේ හිටවනවා. ඒ අතර පරීක්ෂණ වගා. එළවලු කූඩෙන් ගන්න අර්තාපල්, රතු අල, සලාද කොල කැරට්, කඩෙන් ගෙනාපු ගොවා ගෙඩි වගේ දේවලුත් වගා කරන්න උත්සාහ කරලා. මේවා ඔක්කොම හාවට පේන්න ඌව සතුටින් තියන්න කියලා කරපු වැඩ. තාම මතකයි අපේ ගමේ කිලෝමීටර් ගානකටම ඒ දවස්වල තිබ්බේ රඹුටන් එක ගෙදරක විතරයි. චාලින් ආත්තාගේ ගෙදර තමයි ගමේ රඹුටන් වත්ත. චාලින් ආත්ත - රඹුටන් හැදුනාම ලොකු රතුපාට රඹුටන් මල්ලක් අරන් ගෙදර එනකං අපි පොර කකා බලන් ඉන්නවා. ඉතිං දවසක් අපිටත් රඹුටන් ගහක් හදාගන්න හිතුනා. ඒක හිටවන්න තිබ්බෙත් එක තැනයි. ඒ තමයි හා කූඩුව ලඟ.
ඊයේ රෑ එනකොට රඹුටන් ගහේ වවුල්ලු රෑනක් පොර කනවා. උදේ වෙනකොට ලේන්නු ගිරව්. හා කූඩුවක් නම් මෙතන දැන් නැහැ. කාලය හරිම ඉක්මනට ගෙවිලා ගිහින්. චාලිං ආත්තගේ රඹුටන් වත්ත කෑලි වලට කඩලා බෙදිලා - රඹුටන් දැන් නැහැ. නිතරම මුහුණ සිනාවෙන් පිරුණු චාලිං ආතා අපේ ජීවිතයට පුදුම ශක්තියක් වුනා. අවුරුදු 94 වෙනකොටත් අතපය සවිශක්තිය තිබුණු කඩිසර කඩවසම් චාලිං ආත්තා නැති වෙලා අවුරුදු 10 ක් ගිහින්. තාත්තා වයසයි. තාත්තාව මල්ලි ඉස්පිරිතාලේ ගෙනිහින් මෙඩිකල් චෙකප් එකකට. මම කෙක්ක ගත්තා රඹුටන් කඩන්න. පොඩිවුන් රඹුටන් ගෙනෙයි කියලා බලන් ඉන්නවා.

No comments: