Translate

Saturday, March 28, 2015

2014 February 10 - පොඩි පම්පෝරියක්


කොහොමහරි අද වෙලාව හොයා ගන්නව කියලා හිතුවා උදේ අපේ ගෙදර අවට පරිසරයෙන් එකතු කරගත්තු චමත්කාරජනක අත්දැකීම් ටිකක් ලියලා දාන්න. නිකමට වගේ හිතෙනවා වාසනාවට හරි අවාසනාවට හරි මේ අත්දැකීම් ලබපු අන්තිම පරම්පරාව අපි වෙන්න යනවා කියලා. ඒක හින්දා cloud එකේ තිබ්බොත් මතු පරපුර පරිසරය ගැන face book එකෙන් හරි කියවයි කියලා මේ කතන්දරය ලියලම නිදා ගන්නවා කියලා වැඩේට අතගැහුවා. අපේ ගෙදර වත්ත සුන්දර පරිසර පද්ධතියක් - ඇවිල්ල තියන අය හොදට දන්නවා. ඉතිං මේ පරිසර පද්ධතිය නිකන් ආවේ නැහැ. අපේ තාත්තගේ අම්මගේ ඉදන් තාත්තට ආපු ඒ පරිසර ඇල්ම අපිටත් කුඩාකාලේ ඉදන්ම හොදට පුරුදුවුනා. කැත්ත උදැල්ල හරකා බාන පස්සේ ටැක්ටර් අනන් මනං ආදියෙනුත් ගොවිකම ඉගෙන ගත්තා. ඉතිං ගෙදර තාමත් යාලුවො සෙට් එකක් ඉන්නවා. ගොඩක් වෙලාවට උදේට රෑට මේ ගොල්ලන්ගේ ප්‍රශ්නත් බලන්න වෙනවා.
සිකුරාදා රෑ ගෙදර එන කොට පාන්දර එකත් පහුවෙලා. ඉතිං ගිනි වැටුන හා පැටව් පාර පුරා දුවනවා තවමත් ගෙදරට යන පාරේ. මේක මට එකපාරටම මතක් කලේ පහුගියකාලේ අපි හොටන් තැන්නපුරා කරපු රාත්‍රී සංචාරයන්. මේ හා පැටව්ගේ ඇස් ලයිට් එළියට ගිනි බෝල වගේ දිලිසෙනකොට ඒ ගොල්ලන්ට යන එන තැන හොයාගන්න බැරුව හිර වෙනවා. ඉතිං මේ දවස් වල තද පෑවිල්ලනේ. වත්ත මැදින් යන ඇල දැන් දවස් දෙකක් පායපු ගමන් වේලෙනවා. පහුගිය කාලේ පුලුවං විදියට ඩොසර් යන්තරයක් අල්ලන් වලවල් දෙක තුනක් කපා ගත්තේ දැන් වත්තේ ඉස්සර නිල් කැට වගේ තිබුන නාන ලිං වැස්ස දවසකට විතරක් ක්‍රියාත්මක වෙන නිසා. කොහොම හරි මේ වෙනකොට එක පොකුණත් හිදිලා. කබරයි බැහැලා මාලු කාල් ගාන්න පටන් අරන් මඩ වතුරේ. ඇවිද ගන්න බැරුව පාර වරද්දගෙන වගේ හොරෙන් හොරෙන් තඩි ඉබිරාලල ටැප් එක ලගට පැයගානක් ගාටන් ඇවිත් වතුර ටිකක් බීලා යන්න. ඒ අස්සේ නංගි මෙයාව සෙට් කරන් පොටෝ ෂූට් එකක් පටන් අරන්. ඉබි උන්දැට එදා රෑ හොදටම මල පැනලා ... ඉබ්බො අවුරුදු සිය ගනන් හිටියට මිනිස්සු දැන් අවුරුදු හතලිහයි පනහයි නේ ඉන්නේ. අපෙත් පොටෝ අරන් දාපිය face book එකේ කියලා ඉබි නයිදේ කම්මැලි කමට පෙට්ටිය අස්සට රිංගන්. ගනිල්ලකො පොටෝ දැන් ...
ඉතිං කොහොම හරි අද උදේ මට වැඩට යන්න නැගිටින්න කම්මැලියි. මෙන්න එකපාරටම බල්ලා බුරනවා අමුතු තාලයකට. මට යකා නැග්ගා. ඒ මදිවට මේකා ජනේලේ එහා පැත්තෙන් ඇවිත් ජනේලෙට කකුල තියලා මට මොනවද කියන්න හදන ගතියක් දැනුනේ වීදුරුව පහුරුගාන සද්දේ ඇහිලා. ජනෙල් රෙද්ද ඈත්කරල බලනකොට මල්ලි එහා පැත්තෙන් ඇවිත්. ගමේ පොඩි අය මල්ලි කියන්නේ අලුතෙන් ගෙදෙට්ට සෙට් වෙච්ච වහු පැටියට. මෙයාගේ කතාව මම කලින් කියලා තියෙනවානේ. මල්ලිට කියන්නේ වර්තූසා කියලා. එයා වර්තූසා කොම්පැනියට එහායින් තිබ්බ මස් මඩුවෙන් තමයි අපේ ගෙදෙට්ට සෙට්වුනේ. මල්ලි ලෙහාගෙන උදේ ඇවිත් - හිතවත් කමට මාවත් බලලම යන්න වටේ තියෙන මල් ගස් ටිකත් කන ගමන්. ඉතිං බලු රාලට මේකට තරහයි. මල්ලි එයාව ගනන් ගන්නෙවත් නැතුව ජනේලේ ලගටත් ඇවිත්. බලුරාල වහුපැටියට පැන පැන කඹය කටට අරන් අදින්න ලෑස්තිය.
ඒ අස්සේ අම්මා මට වැඩට යන්න බත් මුලක් බදිනවා. මේ දවස් වල වතුර නැති නිසා කොරවක් පවුලත් කුස්සියට සෙට් වෙනවා බත් ටිකක් කාලා යන්න. බලල් තඩියා ඒකට කුරුමානම් අල්ලලා - කුරුල්ල ලොකු නිසා හැංගිලා ඉන්නවා. දෙමලිච්චො ටික කපපු පොල් කෑලි වල රහබලන්න පටන් අරන් ආතල් එකට ගෙටම කරල බෙට්ටකුත් ගහන ගමන්. පරණ පෙට්ටියක් අස්සෙන් ගෙඹි රාලත් ඇග මැලි කඩන් එන්න ගන්නවා කොහෙදෝ යන්න. මේ ගේ ගෙම්බෝ මොන දේ කලත් - සෑහෙන තරම් ඈතට ගිහින් දැම්මත් ගෙටම එනවා. කොච්චර පොකුණු තිබ්බත් උන්දැ හොරෙන් ගරාජ් එකක් අස්සට හරි රිංගගන්නවා.
මේ අතර මට තව යාලුවෙක් ඉන්නවා. එයා තමයි තනිකඩ මයිනා. මෙයා මම උදැල්ලක් ගත්තොත් දන්නවා. එයා මම තණකොල කපන මැෂිම start කලොත් දන්නවා. ලොක්කා කික් කික් ගගා එන්නේ මැෂින් එකෙන් තණකොල කැපෙනකොට පෑදෙන කුරුමිණී සත්තු බයිට් එකට ගන්න. මෙයාගේ මේ ගති කාලෙක ඉදන් වෙනස් වෙලා. එයාට අලුත් මනමාලියෙක් සෙට් වෙලා දැන් අලුත් පැටියෙකුත් එක්ක. ඉතිං උදේ එක විකාරයයි. මේ දෙන්නගේ පැටියා කල එළි මංගල්ලෙට පියාඹලා කරුමෙට පොඩ්ඩගේ චූටි කකුල පොල් කොලයක අස්සේ පැටලිලා. පැටියා කෑ ගගහා දඟලනවා. අම්මයි තාත්තයි කෑ ගගහ පැටියව එළියට අදිනවා. ඒත් එන්නේ නැහැ. ඒ අස්සේ පැටියාව මරං කන්න බලන් කපුටෝ කපුටු රෑන එකතු කරනවා - එක යුද්දයයි. මයින අම්මයි තාත්තයි කපුටො එක්ක සටන් කරන ගමන් පොල් කොලෙන් පැටියව ගලවගන්නත් හදනවා. අන්තිමට එකත් මගේ account එකට. ගහ ලග නංගිව තියලා කාන්ති නැන්දට කොල් එකක් දීලා පයිලට් කෙනෙක් ගෙන්න ගෙන කොහොම හරි උන්දැව ගොඩ දැම්මා.
තවත් ඉවර නැහැ වගේ - ග්‍රීෂ්මෙට කොල හැලිච්ච ඇබරැල්ල ගහේ ඉදන් දණ්ඩා රවනවා. මේ දණ්ඩොන්ට මේ දවස්වල අප්සෙට්. බාප්ප ඉන්නකොට එයා කෙසෙල්ගෙඩි බනිස් අනන් මනං ගෙනන් දඩු ලේන්නුන්ට ලේන්නුන්ට කන්න ගේ ඉස්සරහ පොල් ගහේ තියන කුහර වල ගහනවා. බාප්පා නැති වුනාට පස්සේ මේ වැඩේ කරන්න කවුරුත් නැහැ. ඉතිං මේ කට්ටිය කාලයක් පදිංචි වෙලා හිටියේ ගේ ඉස්සරහ තිබුන පහිඹියා ගහේ. මේ ගහට පැෂන් වැලකුත් ගිහින් තිබුනා - හොද උසයි. පුල් ආතල්. මේක ගෙටම සෙට්වෙලා නිසා මේ ගහ දිගේ කල වැද්දොත් ගෙට බඩගාගෙන එනවා. මුන් සිවිලිමේ ඉදන් කාමර වලට මුත්‍රා කරනවා. ඕකට මල පැනලා තාත්තා පිහිඹිය ගහ කප්පදු කරලා කැපුවා. හැබැයි එදා ඉදන් මේ දණ්ඩොන්ට යන එන තැන් නැති වුනා. අනික් වතුවලට ගියොත් රතිංඤ්ඤා ගහලා ගල් ගහලා මේ සත්තු එලවනවා. මේ සත්තු පොල් කනවා - ඇට්ටි කනවා කියලා ගංවල මිනිස්සු තරහයි. අපේ තාත්තට ගල් ගහන්න බැහැ. තාත්ත ඒවා ගැන හිතන්නෙත් නැහැ. ඉතිං මේ දණ්ඩොන්ට මගුල් සක්වලක් වෙලා තිබ්බ පිහිඹියා ගහ කපපු එකට ඒගොල්ලෝ තාම තරහෙන්. මේ දණ්ඩෝ කූඩු හදන්නේ උස ගස්වල උඩු වියන් වල. එහෙම තිබ්බ අනිත් ගසුත් තාත්තා කපන්න කියලා මිනිස්සුන්ට පහුගිය කාලේ. උස ගස් නැත්නම් දණ්ඩොන්ට ඉන්න තැන් නැහැ. අපි කුඩා කාලේ අපේ වතු වල දඩුලේන්නු හිටියේ නැතත් අහල පහල කැලෑ කාන්තාර වෙනකොට අනාත වුන ලේන් පවුලක් අපේ වත්තටත් සෙට්වුනා. තාත්තා දන්නේ නැහැ මේ වගක් ඇත්තටම. මම එනකොට ගස් ටික බිම. සමහර ඒවා දරට විකුණලා. සමහර ඒවා කප්පදු කරලා. සාමාන්‍යෙයන් වතුවල ගස් කප්පදු කරන එක අවුරුද්දකට දෙකකට වතාවක් කරන්නේ - එහෙම නොකලොත් වතු පාලු වෙලා පොල් ගස්ටික සවුත්තු වෙන නිසා. ඒත් ඉස්සර වගේ නෙමෙයිනේ දැන්. කට්ටියට තියෙන එකම ජෙයින්ට් එක අපේ වත්ත විතරයි.
කැටකෑල්ල ගහ උසට තිබ්බා. පරණයි. හැබැයි ගොඩක්ම පරණයි මගේ හිතේ. මේ රූස්ස ගහට සෙට් වෙලා හිටියා උකුස්සො පවුලක්. එකෙක් කිලෝ තුනක් විතර බරයි මගේ හිතේ. මේ ගොල්ලන්ට කියලා පහුගිය අවුරුද්දේ පර්චස් විස්සක තිහක පොඩි කැලෑ තිරුවක් වත්ත ඇතුලෙම ඉතිරි කරන්න අපි තීරණය කලේ ඒ ගොල්ලන්ගේ අයිතිය අපිට අහිමි කරන්න බැරි හින්දයි. ඉතිං මේ උකුස්සා බරපතල අනතුරක් කරන්. එයාගේ තට්ටක් කම්බියකට පැටලිලා එයාට ඉගිල්ලෙන්න බැහැ. ඉතිං ටික දවසක් වත්තේ කොටයක් උඩට වෙලා හිටපු මෙයාට පිහිට වෙන්නත් ටිකක් බයයි. කොහොම හරි අල්ලපු ගෙදර මල්ලි මෙයාව සෙට්කරන් සතියක් දෙකක් කන්න දීලා. මිනිහට වියදම සැරයි. මල්ලිගේ ඉස්සර රස්සාව තමයි හොරෙන් පොල් ගහකට නගින එක. ඊට කලින් ඉතිං කලින් එයාගේ තාත්තා කලේ සුදුවා විකුණන එක. මල්ලිට ඉස්සර හාවෝ ඉබ්බෝ කොරවක්කො පෙන්නන්න බැහැ. මේ ගොල්ලෝ බල්ලොත් එක්ක ඉස්සර වත්තට පනින්නේ ඉත්තෑවෝ හාවෝ කොරවක්කෝ තලගොයි ටික අදින්න. මුන් ආපු ගමන් අපිත් එක්ක වලි. නමුත් දැන් මල්ලි වෙනස් වෙලා. මල්ලිට රස්සාවකුත් තියෙනවා. අයියලා මල්ලිලත් දැන් පිට රටවල. සල්ලි නැතත් මල්ලි උකුස්සට මාලුයි මසුයි සති දෙකක් කන්න දීලා කවුදෝ මහත්තයෙක් හොයන් උකුස්සව වනජීවි උන්දැලට බාර දෙන්නත් සෙට් කරලා.
ඉතිං ඔය ප්‍රශ්ණ ටික විසදගෙන එළියට බහිනකොට ඇස් රතු කරන් මුගටිරාලයි එයාගේ නෝනයි පොඩි එක්කෙනයි සරම කඩන් කොහෙද දුවනවා. තලගොයි රාල මම එනකොටත් පොල් ගහේ. පහු ගිය කාලේ අපේ ගෙවතු පරිසරයේ සමතුලිත බව තවත් බිදුනේ අල්ලපු වැටේ මස් මඩුව හින්දා. එතන කුකුල් කොටුවේ එකා සත්තුන්ගේ බෙල්ල කඩලා උණු හැලියට දානවා. දාලා තටු කකුල් අනන් මනන් එතනම ගොඩ ගහලා කබරයින්ට කන්න දෙනවා. මේ කබරයි සෙට් එක කාල බීලා විනොද සමය ගෙවන්න අපේ පොකුණට බහිනවා. ඒ ගොල්ලෝ මේ පෙකුණ වටේ හැදෙන කොරවක් කිරල පැටව් ටිකත් ඒ එක්කම කාලා දානවා. වතුර හිදෙනකොට නැට්ටට කොටු කරන් ලූල් මාලු කීප දෙනත් කොටු කරගන්නවා. මේ කුකුල් මස් වැද්දටත් දැන් දිට්ට දම්ම කර්ම පටිසන් දෙන්න අරන්. ඇහැක් නැති මේ මිනිහාගේ ගේ ණය කාරයින්ට සින්න වෙලා උසාවියෙන් ගම පුරා ලයිට් කනු වල උන්දැගේ ගෙයි බඩු වෙන්දේසියේ දාලා පෝස්ටර් ගහලා. මේ මිනිහට බැනලා වැඩකුත් නැහැ - ඌ ගැන දුක් වෙලා වැඩකුත් නැහැ. මොකද අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන් කනෝ කනෝ කියලා කෑ ගහන්න ඕනේ නෑනේ කියලා - පාඩුවේ මම ගෙදරින් එළියට බැස්සා.

No comments: